Skip to main content

අත්තිඩිය කුරුලු උයන


අත්තිඩිය කුරුලු උයන



ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.  මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය.

බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල - අත්තිඩිය තෙත් බිම ප්‍රකාශයට පත් කරන ලදි. මෙහි ඇති වැදගත්කම හේතුවෙන් තෙත් බිම් සුරැකීම පිලිබඳ අන්තර්ජාතික රැම්සා ප්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත්බිම් 947කින් යුතු නාමාවලියට බෙල්ලන්විල-අත්තිඩිය වගුරු බිම ද එක් විය. 1990 ජූලි මස 2 දින කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෙක්ටයාර 372 ක භූමි ප්‍රමාණයකින් යුතු මේ වගුරු බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.




මේ වගුරු බිම ආශ්‍රිතව වෙසෙන පක්ෂි විශේෂ 166 ක් පමණ දැකගත හැකි බව පර්යේෂණ වාර්තාවන්හි සටහන් වේ. ඒ අතරින් විශේෂ 20 කට වැඩි ගණනක් අයත් වන්නේ සංක්‍රමණික පක්ෂින්ටයි. නීල වර්ණ තුරු හිස් අතරත් වගුරු බිමෙහි පඳුරු අතරත් තම කැදලි තනා ගන්නා මේ පක්ෂින් අතර ගිරා මලිත්තා, හීන් කොට්ටෝරුවා සහ හිස දුඹුරු දෙමලිච්චා යන ඒක දේශික පක්ෂින් ද ටයිටර් වැහිලිහිණියා, පළගැටි හම්බු කුරුල්ලා, දම් සිලිටු දෑතුඩුවා වැනි සංක්‍රමණික පක්ෂින් ද මෙම බිම ගොදුරු බිමක් කොටගෙන වාසය කරනු නිරික්ෂණය කළ හැක. එහෙත් වර්තමානයේ දී මොවුන් තරමක් මිනිස් ඇසින් සැඟව ගත් සෙයක් පෙනෙයි. තව ද කිතලා, බළල් සේරා හා විල් කුකුළා වැනි පක්ෂීන් දිවුල්පිටිය හා බොරලැස්ගමුව යන වගුරු බිම් ආශ්‍රිතව දැක ගත හැකිය.  කුරුලු උයනක් ලෙසින් නම් දැරීමට මෙය ම ප්‍රමාණවත්ය.

හිමිදිරි උදෑසන, පිණි බිඳුවලින් හැඩවන ගොන් කදුරු වැනි කඩොලාන ද සැල්විනියා, ජපන් ජබර, හයිඩ්‍රිල්ලා වැනි ජලජ ශාක ද නෙලුම්, මානෙල්, ඕලු වැනි මලින් ද , දිය ගෝවා, දිය හබරල ආදී පැළෑටින්ගෙන් ද මෙහි ජලබිම් වැසී යයි.  තුරුවදුලු අතර පියාසළා යන සමනළයින් මේ භූමිය ඔවුන්ට ද අයත් බවට ඉඟි ලබා දෙයි. සැබෑවින් ම අප රටේ දැනට වාර්තා වී ඇති සමනළ විශේෂ 242න් විශේෂ 71ක් බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම ආශ්‍රිතව වාර්තා වී තිබේ. ඒ අතරින් ඒකදේශීය සමනළ විශේෂ 09 ක් මෙය වාසභූමිය කරගෙන ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව මුල් කාලයේ දි උරග විශේෂ 30ක් පමණ ද වාර්තා වු බව කියන නමුදු අද වන විට ඔවුන් මිනිස් ඇස ගැටීම ඉතා දුලබය.


බොල්ගොඩ ඇළ මේ අභය භූමිය තුළින් ගලා බසින්නේ පරම්පරාවන් ගණනාවක වෙනස්කම් විඳදරා ගනිමිනි. මේ ජල පහර ආශ්‍රිතව ආවේණික මත්ස්‍ය විශේෂ 6 ක් ඇතුළත්ව මත්ස්‍ය විශේෂ 44 ක් වාර්තා වී ඇතත් අද වන විට ජීවය රඳවාගන්නට සමත්ව ඇත්තේ හුංගා, කපු හඳයා, කාවයියා, ලූලා හා මඩ කනයා වැනි දේශිය මත්ස්‍ය විශේෂ කිහිපයක් පමණී. එයට අමතරව මෙහි විමසිලි ඇසින් බලන්නෙකුට ආක්‍රමණික විදෙස් මත්ස්‍ය හිතුවතුන් වන තිලාපියා, වෙල්ගුරාමි හා පිදුරු පිසින්නා වැනි විශේෂයන් ද එහි ඔබ මොබ සැරිසරනු දැකගත හැකි වෙයි. අගනුවර කුරුලු ලොවක අසිරිය නෙතගින් විඳින්නට මෙන් ම කැමරා කාචයක මතක සටහනක් කර ගනු රිසියෙන් ද මෙහි පැමිණෙන්නවුන් ට මෙහි සැබෑ සංචාරකයන් වන පක්ෂීන් ගේ සොඳුරු සිත්තම් සටහන් කරගන්නට හැකි වෙයි.




ඡායාරූප : ටෙක්ලා චාන්දනී
2017 අගෝස්තු

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...