Skip to main content

අත්තිඩිය කුරුලු උයන


අත්තිඩිය කුරුලු උයන



ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.  මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය.

බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල - අත්තිඩිය තෙත් බිම ප්‍රකාශයට පත් කරන ලදි. මෙහි ඇති වැදගත්කම හේතුවෙන් තෙත් බිම් සුරැකීම පිලිබඳ අන්තර්ජාතික රැම්සා ප්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත්බිම් 947කින් යුතු නාමාවලියට බෙල්ලන්විල-අත්තිඩිය වගුරු බිම ද එක් විය. 1990 ජූලි මස 2 දින කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෙක්ටයාර 372 ක භූමි ප්‍රමාණයකින් යුතු මේ වගුරු බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.




මේ වගුරු බිම ආශ්‍රිතව වෙසෙන පක්ෂි විශේෂ 166 ක් පමණ දැකගත හැකි බව පර්යේෂණ වාර්තාවන්හි සටහන් වේ. ඒ අතරින් විශේෂ 20 කට වැඩි ගණනක් අයත් වන්නේ සංක්‍රමණික පක්ෂින්ටයි. නීල වර්ණ තුරු හිස් අතරත් වගුරු බිමෙහි පඳුරු අතරත් තම කැදලි තනා ගන්නා මේ පක්ෂින් අතර ගිරා මලිත්තා, හීන් කොට්ටෝරුවා සහ හිස දුඹුරු දෙමලිච්චා යන ඒක දේශික පක්ෂින් ද ටයිටර් වැහිලිහිණියා, පළගැටි හම්බු කුරුල්ලා, දම් සිලිටු දෑතුඩුවා වැනි සංක්‍රමණික පක්ෂින් ද මෙම බිම ගොදුරු බිමක් කොටගෙන වාසය කරනු නිරික්ෂණය කළ හැක. එහෙත් වර්තමානයේ දී මොවුන් තරමක් මිනිස් ඇසින් සැඟව ගත් සෙයක් පෙනෙයි. තව ද කිතලා, බළල් සේරා හා විල් කුකුළා වැනි පක්ෂීන් දිවුල්පිටිය හා බොරලැස්ගමුව යන වගුරු බිම් ආශ්‍රිතව දැක ගත හැකිය.  කුරුලු උයනක් ලෙසින් නම් දැරීමට මෙය ම ප්‍රමාණවත්ය.

හිමිදිරි උදෑසන, පිණි බිඳුවලින් හැඩවන ගොන් කදුරු වැනි කඩොලාන ද සැල්විනියා, ජපන් ජබර, හයිඩ්‍රිල්ලා වැනි ජලජ ශාක ද නෙලුම්, මානෙල්, ඕලු වැනි මලින් ද , දිය ගෝවා, දිය හබරල ආදී පැළෑටින්ගෙන් ද මෙහි ජලබිම් වැසී යයි.  තුරුවදුලු අතර පියාසළා යන සමනළයින් මේ භූමිය ඔවුන්ට ද අයත් බවට ඉඟි ලබා දෙයි. සැබෑවින් ම අප රටේ දැනට වාර්තා වී ඇති සමනළ විශේෂ 242න් විශේෂ 71ක් බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම ආශ්‍රිතව වාර්තා වී තිබේ. ඒ අතරින් ඒකදේශීය සමනළ විශේෂ 09 ක් මෙය වාසභූමිය කරගෙන ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව මුල් කාලයේ දි උරග විශේෂ 30ක් පමණ ද වාර්තා වු බව කියන නමුදු අද වන විට ඔවුන් මිනිස් ඇස ගැටීම ඉතා දුලබය.


බොල්ගොඩ ඇළ මේ අභය භූමිය තුළින් ගලා බසින්නේ පරම්පරාවන් ගණනාවක වෙනස්කම් විඳදරා ගනිමිනි. මේ ජල පහර ආශ්‍රිතව ආවේණික මත්ස්‍ය විශේෂ 6 ක් ඇතුළත්ව මත්ස්‍ය විශේෂ 44 ක් වාර්තා වී ඇතත් අද වන විට ජීවය රඳවාගන්නට සමත්ව ඇත්තේ හුංගා, කපු හඳයා, කාවයියා, ලූලා හා මඩ කනයා වැනි දේශිය මත්ස්‍ය විශේෂ කිහිපයක් පමණී. එයට අමතරව මෙහි විමසිලි ඇසින් බලන්නෙකුට ආක්‍රමණික විදෙස් මත්ස්‍ය හිතුවතුන් වන තිලාපියා, වෙල්ගුරාමි හා පිදුරු පිසින්නා වැනි විශේෂයන් ද එහි ඔබ මොබ සැරිසරනු දැකගත හැකි වෙයි. අගනුවර කුරුලු ලොවක අසිරිය නෙතගින් විඳින්නට මෙන් ම කැමරා කාචයක මතක සටහනක් කර ගනු රිසියෙන් ද මෙහි පැමිණෙන්නවුන් ට මෙහි සැබෑ සංචාරකයන් වන පක්ෂීන් ගේ සොඳුරු සිත්තම් සටහන් කරගන්නට හැකි වෙයි.




ඡායාරූප : ටෙක්ලා චාන්දනී
2017 අගෝස්තු

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව