Skip to main content

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම (New Kallady Bridge), උප්පොඩි (Uppody), තිරුචෙන්දූර්(Thiruchenthur), කල්ලඩි(Kallady), මුගාවතුරම් (Mugawathuram) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල (Dutch Bar) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි.

ඡායාරූපය: අන්තර්ජාලයෙනි

ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ.

බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බර්ගර් (Portuguese Burghers) හා ලන්දේසි බර්ගර් (Dutch - Burghers) නමින් පරපුර දෙකක් මෙරට ජනාවාස පිහිටුවාගත් බව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේදී පෙනී යයි.

මෙරට කුළුබඩු වෙළදාමේ ආධිපත්‍ය අත්පත් කරගැනීමේ නොනිමි ආශාවෙන් පෙළුණු පෘතුගීසින් විසින් ජනපද පිහිටුවාගැනීමේ අරමුණින් යුතුව මෙරට කාන්තාවන් විවාහ කරගත් බවද ඔවුන්ගෙන් පැවත එන්නන් පෘතුගීසි බර්ගර්වරුන් නමින් හැදින්වෙන බවද කියැවේ. ලන්දේසින්ගේ පැමිණිමෙන් පසුව ඔවුන් මෙරට පෘතුගීසින් විසින් බලය තහවුරු කරගත් ප්‍රදේශයන් අත්පත් කරගත් අතර වෙරළබඩ තීරයේ ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශ ඒ අතර විශේෂිත විය. එහිදී නෙදර්ලන්ත ජනපදිකයින් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනපද වල පදිංචි කරවූ බවත් ඔවුන්ගෙන් පැවැත එන පිරිස බර්ගර් යනුවෙන් හැදින්වෙන බවත් කියැවේ. බර්ගර් යන්න ලන්දේසි ව්‍යවහාරයෙහි එන පදයකි. එහි අරුත වන්නේ “ජනපදිකයා” ‍නැතහොත් “පුරවැසියා” යන්න වේ. කාලයාගේ අවෑමෙන් මෙම ජනයා පෘතුගීසි සම්භවයෙන් යුත් බර්ගර් ජනතාව සමග මෙන්ම මෙරට ස්වදේශික ජනතාව සමගද ආවාහ විවාහ වීමෙන් වර්තමානයේ වෙසෙන බර්ගර් ජනතාව පැවැත එන බවද කියැවේ.

බර්ගර් ජාතිකයින් සෑම දෙනාම එකම ආකාරයෙන් දැකිය හැකි නොවෙයි. ඇතැමෙක් පැහැපත් යුරෝපීය ආරයට නතුවූ සමකින් හා දුඹුරුවන් කේශකලාපයන් යුතු වෙයි. තවත් අයෙකු තළෙළු සමකින් හා කළුවන් හෝ දුඹුරුවන් කේශ කලාපයෙන් යුත්  වන අතරම ඇතැම් විට තවත් අයෙකු පැහැපත් සමකින් හා කළුවන් කේශකලාපයකින් සමන්විත වන්නේ යුරේසියානු සම්භවයකින් ඔවුන් පැවත එන බව කියා පාන්නටය.

බොහෝ විට බර්ගර් ජාතිකයන් තම වාසගම ලෙස යුරෝපීය නමක් භාවිත කරන අතර  එය පෘතුගිසි, ලන්දේසි, ඉංග්‍රීසි සම්භවයක් සහිත නාමයක් වෙයි. කලාතුරකින් ජර්මන්, බෙල්ජියානු හා නෝර්විජීයානු සම්භවය සහිත නාමයන්ද ඇසිය හැකිය. පෙරෙයිරා (Pereira), සල්ගාදූ ( Salgado), කොස්තා (Costa), වාස් (Vass) ආදී පෘතුගිසී නාමයන්ද ෆර්නැන්ඩු (Fernando), ඩි සොයිසා (De Soysa), ඩි සිල්වා (De Silva) ආදී ලන්දේසි නාමයන්ද අදටත් ඔවුන් අතර භාවිත වෙයි.

පෘතුගීසි ක්‍රියොල් (Creole Language) භාෂාව බර්ගර්වරුන්ගේ මව්භාෂාව වන අතර වර්තමානයේදී ඉංග්‍රීසි, ද්‍රවිඩ මෙන්ම සිංහල භාෂාව ද ඔවුන් විසින් භාවිත කරති. බ්‍රිතාන්‍ය පාලන සමය සමග ඉංග්‍රීසි භාෂාව උගත් බර්ගර් ජනයා එම බස චතුර ලෙස හැසිර‍වීමෙහි සමර්ථයින් බවට පත්වූවෝ වෙති.  දිගු කාලයක් මුළුල්ලෙහි ද්‍රවිඩ ජනයා සමග වාසය කිරීම නිසාවෙන් වර්තමානයෙහි දී ඔවුන්ගේ භාෂාවට ‍ද්‍රවිඩ බස හා එහි ඇතැම් විවරණ රීතින්ද එක්වී තිබෙනු නිරික්ෂණය කළ හැක.

පෙරදිග හා අපරදිග සංස්කෘතීන්ගේ එකතුවකින් බර්ගර් සංස්කෘතිය පෝෂණය වී ඇත. එහෙත් එය බටහිරකරණයට නතුවූ එකක් බව බැලු බැල්මට පෙනී යයි. එසේ වන්නේ මෙම ජනයා රෝමානු කතෝලිකයන් වීම නිසාවෙන් යැයි කිව හැකිය. එහෙත් තම මුතුන් මිත්තන්ගෙන් දායාද කරගත් සංස්කෘතික අංග රැකගැනීමට ඔවුහු කැපවී සිටිති.

බර්ගර් පවුල් වල කාන්තා‍වන්ගේ ඇුම ගවොම වන අතරම, ඔවුහු සාරියද, පිරිමින් දිගු කලිසම හා කමිසය ද ඇතැම් විට සරොමද භාවිත කරති. විශේෂ උත්සව අවස්ථාවන්හිදී විසිතුරු නවීන පන්නයේ ගවොම් වලින් හා ආභරණ වලින් සැරසුණු කාන්තාවන් හා යූරෝපීය කලිසම, කමිසය, ටයි පටිය හා උඩුකබායෙන් සැරසුණු පුරුෂයින් අපට දැකගත හැකි වෙයි.

දහසය වැනි සියවසේ පෘතුගාලයේ උපත ලබන බයිලා සංගිතය හා කපිරිඤ්ඤා සංගීත‍ය මෙරට ප්‍රචලිත කිරීමට දායක වූවෝ බර්ගර්වරුන් ලෙස සැලකේ. බයිලා සංගීතයෙන් හා දිවා හෝ රාත්‍රී භෝජන  සංග්‍රහයකින් නිමා නොවන උත්සව අවස්ථාවන් සොයාගැනීම මේ සමාජය තුළ උගහටය. ක්‍රියෝල් භාෂාව භාවිත කරමින් ඔවුන්ටම ආවේණික වූ බයිලා ගීත ගැයීම ද සුවිශේෂි වේ.

විවේකීව නි‍වසේ සිටින බර්ගර් කාන්තාවන් විසින් ලේස් රේන්ද හා බීරළු රේන්ද ගෙතීම සිදු කරන අතර අද වන විට එය ගෘහ කර්මාන්තයක් වශයෙන් ප්‍රචලිතව ඇත්තේය. මේවා බොහෝමයක් ඔවුන්ගේ ඇඳුම් නිර්මාණයන් සඳහා යොදා ගැනෙයි.

මඩකලපුවේ වාසය කරන බර්ගර්වරුන්ගෙන් වැඩි පිරිසක් වඩුකර්මාන්තය, පෑස්සුම් ශිල්පය, ඇුම් මැසීම, පින්තාරුකරණය හා කාර්මික යන වෘත්තීන්හි නියැලෙන්නෝ වෙති. බොහෝ විට මොවුන් ප්‍රසිද්ධ වන්නේ වඩුකර්මාන්තයට වීම විශේෂත්වයකි. ඒ ලන්දේසි උරුමයකැයි අනුමාන කළ හැක්කේය.

කහ බත් (Yellow Rice), පැටිස් (Patties), කට්ලට් (Cutlet), ලව් කේක් (Love Cake),  Bolo Fiado නම් වන ලේයර් කේක් වර්ගයක් සහ ෆ්‍රිකඩෙල් (Frikkadel) නමින් හැදින්වෙන රසකාරක යොදා සකස් කරන ලද මීට් බෝල්ස් (Savory Meet Balls) සහ සියලුම වර්ගයේ පුඩින් වර්ග බර්ගර් සංස්කෘතියටම ආවේණික වූ ආහාර වර්ග වෙයි. එමෙන්ම ආහාර අනුභවයේදී හැදි හා ගෑරුප්පුව මනා ලෙස හසුරවීමට ඔවුන්ට ඇත්තේ සහජ දක්ෂතාවයකි.

 Stamboeken නැමැති ලන්දේසි ව්‍යවහාරයේ දී ක්ලෑන් බුක් (Clan Book) නමින් හැදින්වෙන පවුලේ තොරතුරු දක්වා ඇති පොතක් සෑම බර්ගර් පවුලක් සතුවම පවතී. මෙම පොත මගින් එම පවුලේ ඉතිහාසය, අධ්‍යාපන තත්ත්වයන්, ආවාහ විවාහ, මරණ, පවුලේ සාමාජිකයන්ගේ නාමයන්, ඔවුන් විසින් ලබාගත් තනතුරු හා වැළදී ඇති ලෙඩ රෝග පිළිබදව පවා සටහන්ව ඇත. වෙළුම් කිහිපයකින් යුතු මෙවැනි පොත් ලන්දේසි බර්ගර්වරුන්ගේ සංගමය සතුව පවතී.

මඩකලපුවේ ලන්දේසි බර්ගර්වරුන්ගේ සංගමය සතුව පෘතුගිසි බසින් ලියැවුණු පොත් රැසකි. ඔවුන්ගේ රැස්වීම් මෙහෙයවනු ලබන්නේ ක්‍රියෝල් බසින් වුවද ඒවාගේ සටහන් තබනුයේ ඉංග්‍රීසි භාෂාවෙනි. මෙම සංගමය වත්මනෙහිදී බර්ගර්වරුන් ගේ සංස්කෘතිය රැක ගැනීමට මෙන්ම මෙම ජන සමූහයා එකට බැතබන්නා වූ ස්ථානයකි. තම පාරම්පරික උරුමයන් හා සංස්කෘතිකමය අංගයන් ප්‍රමුඛස්ථානයෙහි ලා සලකන බර්ගර්වරුන්ගේ වත්මන් පරපුර තම අභිමානය රැක ගැනීමේ නිහඩ අරගලයක යෙදී සිටියි.


2014 පෙබරවාරි


බුද්ධික එස්.රත්නායක 

ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව