Skip to main content

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය


ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය



කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ
සින් ද සැලකෙයි.

1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ  පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකරණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි.

දශක ගණනාවක්  පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව පැවැතිය ද නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනයාටත්, දකුණේ සිංහල ජනයාටත් ත්‍රිකුණාමලය දක්වා දුම්රියෙන් ගමන් කරන්නට දැන් තහංචි බාධා නොමැත. කොළඹ කොටුවෙන් ගමන් අරඹන නගරාන්තර දුම්රියකින් පැය හයක පමණ ගමනකින් අපට ගමනාන්තයට ළගා විය හැකිය. ඒ හැරුණු විට දිනපතා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය ද ගමන් කරයි. ත්‍රිකුණාමලය වෙත ඇදෙන සංචාරකයන්ට නම් දුම්රියෙන් නැගෙනහිර සංචාරයට යන ගමන අමතක නොවන මතක සටහන් එක්කරන්නට සමත් වනු නොඅනුමානය. 

2016 අගෝස්තු

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...