Skip to main content

කුරුලු කැලේ


මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ


දිස්ත්‍රික්කය - කෑගල්ල
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට
ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය )
විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි

කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම කිතුල්ගල යනුවෙන් වහරට එක්වන්නේය.

කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින් පෝෂණය ලබන්නා වූ මේ පෙදෙසෙහි කිතුල් හකුරුත්, කිතුල් රා සහ කිතුල් පිටි නම් හිග නොවෙයි. ඒ කිතුල් ආශ්‍රිත බොහෝ නිෂ්පාදනයන්ට මෙහි වැසියෝ හුරු පුරුදුව සිටින හෙයිනි. අගනගරයෙ සිට පැය දෙකහාමාරක් පමණ ගමන් කළ විට මේ ඉසව්වට ළගා විය හැකිය. කාර්යබහුලව ගෙවන දිවියට විරාමයක් දෙන්නට මේ ගමන කදිමය.

 පැහැදිලි අහස ඇති දිනයක් නම් ඒ කුරුලු ලෝලින්ට යහපත් දිනයකි. පරිසර සංචරණයෙහි යෙදෙන්නන්ට මේ පුරවරය මෙන්ම කුරුලු කැලේ ද සුවිශේෂි වන්නේ එනිසාමය. කැළණි නදී තොමෝ තරමක් දුෂ්කර ගමන් මගක් පසු කරන සෙයක් පෙනෙන්නට ඇත. ඇය ගල් කුළු අතරින් නොනැවතී ඉදිරියට ගලා යන්නේ යෞවනත්වයේ සුරූපිබවත් අභියෝග හමුවේ නොසැලෙන ගුණයත් ප්‍රකට කරලමිනි. අප කිතුල්ගලට ළගාවන විට උදෑසන අට පමණවන්නට ඇත. උණුසුම් තේ සමග හකුරු කෝප්පයක් අප ඉදිරියේ ඇත. උණු උණුවේ ලැබෙන රොටියට සහ ලුණු මිරිස ගත මෙන්ම සිත ද ප්‍රාණවත් කරන්නට සමත් වෙයි. කිතුල් ගල සංචාරක හෝටලය ගමන් මගේ වෙහෙස නිවන නවාතැන් පොළකි. උදෑසන ආහාරයෙන් පසුව අපි පා ගමනින් අපේ සංචරණය ආරම්භ කළෙමු.

රක්ෂිත පිවිසුමෙහි වන අඩවි සංරක්ෂණ කාර්යාලයෙන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමෙන් අනතුරුව අපට කැළණි වැලි රක්ෂිතයට ඇතුළු විය හැකිය. අවැසි නම් මාර්ගෝපදේශ සහය ද එතැනින් ලබාගත හැකිය. ලංකාවේ පැරණිතම රක්ෂිත අතරින් එකක් වන මාකන්දාව රක්ෂිතය 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරණ ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 192 ක බිම් පෙදෙසක් අයත්වන අයුරින් වනාන්තරයක් ලෙසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඒ බව දැක්වෙන පුවරුවක් මෙහි දැකිය හැකිය. මෙහි යනෙනවුන්ට නැරඹිය හැකි ස්ථානයන් සටහන් වන පුවරු කිහිපයකි. ඇතා වැටුණු වළ, ලේන්කිරි ඇල්ල, මකුළු ඇල්ල ඒ අතර වෙයි.

කැළණිවැලි රක්ෂිතයට හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇති මෙම රක්ෂිතය බංඩාර කැලේ , කුරුලු කැලේ යන අන්වර්ථ නාමයන්ගෙන් ද හදුන්වන අතර ජෛව විද්‍යාත්මකව ඉතාම වටිනා දුර්ලභ ජීවින් විශේෂ රැසකට රැකවරණය සලසන්නා වූ කැළණි ගගේ ජල පෝෂක වන බිමක් වන බවට අධ්‍යයන් මගින් තහවුරු කරගන්නට සමත් වී ඇත.

පහතරට තෙත් නිවර්තන ද්විතියික වනාන්තර වැස්මක් සහිත මේ ප්‍රදේශය හොර ශාක ප්‍රමුඛ ශාක ප්‍රජාවන්ගෙන් සමන්විතය. උද්භිද විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව ලෝකයේ ව්‍යාප්තව ඇති හොර ශාක කුලයට අයත් මේ ප්‍රදේශයෙන් පමණක් වාර්තා වන හොර ශාක කිහිපයක් මෙහි දැකිය හැකි බව කියැවේ. ඒ Dipterocarpaceae නම් කුලයට අයත් වන Balanocarpus Kitulagallensis හොර ශාකයයි.

අපි කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන්නෙමු. මහා ගස් අතුපතර වැඩී ඇත. ඔවුන්ගේ බද වටා එතුණු වැල් ලියකම් සොබා වර්ණනාවන්ට  මංපෙත් විවර කරයි. දහවල හිරු රැසින් බේරී සුවසේ වැඩෙන උඩවැඩියා කුමරියෝ නම් මේ තුරු ලතා මව්වරුන් සෙවණේ රැකවරණය ලබා නිරුපද්‍රිතව වැඩෙන්නාහ. ලංකාවට ආවේණික හා වවීමේ තර්ජනයට මුහුණ පා ඇති Tropoidia bambusifolia උඩවැඩියා විශේෂයට රැකවරණය සලසන්නා වූ එකම වන බිම ද මේ වෙයි. ලංකාවේ ඉතාම දුර්ලභ ආවේණික උඩවැඩියා විශේෂයක් වන Bromheadia srilankensis හා Dendrobium microbulbon ශාක මේ වනයෙන් වාර්තා වේ. එමෙන් ම ඉතා ම දුර්ලභ හා ජලජ උඩවැඩියා විශේෂය වන Malaxis thwaitesii ශාකය මේ වන බිමේ දියපහර ආශ්‍රිතව දැක ගත හැකි බව උද්භිද විද්‍යා පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

මිනිස් සිරුර අප්‍රාණවත් කරන්නා වූ පිළිකාව මෙන්ම ගසටත් වැලටත් පිළිකාවක් ලෙසින් ඔඩු දුවන්නේ පිළිල ශාකයි. එයින් ගස් වැල් සියල්ල අප්‍රාණිකව මරණය වැළදගන්නා බව මතය වේ. මේ සොදුරු වන බිමේ ශාක දෙස විමසිල්ලෙන් බලන්නෙකුට එවැනි පිළිල ශාකයක් ද හැදිනිය හැකි වෙයි. පිළල ශාකයක් වශයෙන් හදුනාගැනෙන Tolypanthus gardinari ශාකය ද , ලංකාවෙන් වවී ගොස් ඇතැයි සටහන්ව තිබූ එහෙත් කිතුල්ගල ආශ්‍රිත වන ලැහැබ් තුළින් සොයා ගන්නට හැකි වූ කූඩළු ශාක විශේෂයක් වන ගල්දෙමට ශාකයට ද  (Impapiums repens) මේ වනබිමෙහි ඊට ම ඉතා සුවිශේෂ ස්ථානවලින් පමණක්ම වාර්තා වෙයි. හොදින් දිය සීරාව සහිත වූ හා හොදින් හිරු එළිය ලැබෙන්නා වූ ස්ථානවල ගල්පර ආශ්‍රිතව මේ ශාකය දැක ගත හැකිය.

වන බිමෙහි මං පෙත් පැහැදිලිව ඇත්තේ මෙහි සංචරණය කරන්නන් බොහෝ දෙනෙකු නිතර එහි යනෙන බැවිනි. වියළි කොළවලින් සමන්විත වූ මේ මංතීරූ අපට ද මහත් රුකුලකි. දහවල හිරු නැගෙත්ම මද උණුසුම් බවක් දැනෙන්නට විය. එහෙත් වන බිම තුළ ගලා යන සිහින් දිය දහරාවෝ මේ පරිසර පද්ධතියේ ඇති සමතුලිත බව රදවා ගන්නට අවැසි සහය ලබා දෙති. ඒ සියල්ලම කැළණි නදී තොමෝ කරා ඇදී යන්නේ මේ බිම පෝෂණය කරමිනි.

බෝවිටියා කුලයට අයත් අපිශාකයක් ලෙස වර්ධනය වන ඉතාම දුර්ලභ ශාකයක් වන Medinella cunata ලෙසින් හැදින්වෙන් දුර්ලභ සපුෂ්ප ශාකය ද , වැලක් ලෙසින් වර්ධනය වන Hoya Pinipolia ශාකය ද ඉතා දුර්ලභ, ලංකාවට ආවේණිකක සපුෂ්ප ශාකයක් දැකිය හැක්කේය. එහෙයිනි මේ බිම උද්භිද උද්‍යානයකට සම වන්නේ. කැළණි ගං නිම්නයේ ජල පෝෂක දිය දහරාවන් ආශ්‍රිත ගල්පර මත වැඩෙන ජලජ ශාක අතර Podostemaceae කුලයට අයත් Polypleurum eleomgatum, Farmaria metrogoides හා Dalxillea zeylanica ශාක මෙන්ම දියපහරවල අතිඋඩයන් හා කෙටල ශාක විශේෂ ලෙස සැලකෙන Cryptocoryne thwaitesii  හා Leginandra thwaitesii විශේෂ ද මෙහි විමසිල්ලෙන් අධ්‍යයනය කරන්නන්ගේ නෙත ගැටෙන්නේය. හරිත වර්ණයෙන් පිරීගත් මේ බිමෙහි සැරිසරන ජීවි විශේෂයන් ද බොහෝමයකි. නිහඩ බවින් පිරි ගිය මේ නිවහන ඔවුන්ගේ ජන්ම භූමියයි.

තුරු ලතා මඩුලු මෙන්ම නොයෙක් ජීවි විශේෂයන්ට ද මේ බිම නිවහනකි. ලංකාවේ මත්ස්‍ය, උභයජීවින්, උරගයින්, පක්ෂින්, ක්ෂිරපායින් හා සමනළයින් යන සත්ත්ව කාණ්ඩ හටය අයත් විශේෂ 411 ක් පමණ මෙම වනය තුළින් වාර්තාවන අතර එයින් 119 ක් ලංකාවට ආවේණික වේ. ඒ අනුව බලන විට මෙම වනබිම තුළ ආවේණිකතා ප්‍රතිශතය 29% ක් තරම් ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි. මේ අතරින් සත්ත්ව විශේෂ 40% ක් ලංකාවට ආවේණික විශේෂයන් වන අතර ඒ අතරින් 38%ක් මෙම බිමෙන්  වාර්තා වීමෙන් මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මොනවට පැහැදිලි වේ.

කිතුල්ගල වනාන්තරයෙන් වාර්තාවන සත්ත්තව විවිධත්වය පෙන්වන සටහනකි මේ.
සත්ත්ව කාණ්ඩය
විශේෂ ගණන
ආවේණික විශේෂ ගණන
ආවේණික ප්‍රතිශතය
මත්ස්‍යයයින්
44
20
45
උභය ජීවින්
36
27
75
උරගයින්
71
35
49
පක්ෂින්
154
28
18
ක්ෂිරපායීන්
32
5
16
සමනළයින්
74
4
5


වෙහෙස නිවා ගනු රිසියෙන් අපි මේ දිය පහර අසළ මදක් රැදී සිටියෙමු. සැබැවින්ම ලක් පොළෝතලයේ ගලා යන මේ ගංගාවෝ මෙන්ම දිය යට සොදුරු පරිසරය දකින්නට නම් අප නෙතු පින් කර ඇතුවාට සැකයක් නැත. එක් තැනකින් තවත් තැනක් වෙනස් වන්නේ එහි විවිධත්වය නිසාමය. ජලය සීතලය. අත්ල මත රැදෙන පිරිසිදු ජල බිදු ලංකාවේ අනෙකුත් පෙදෙස්හි ගංගා ජලය සමග මා සිතින් සංසන්දනය කර බලන්නට උත්සාහ කළෙමි. සැබැවින්ම මේ ජලය පිරිසිදු බවින් ඉහළය.

ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර කැළණි ගගේ අතුගංගාවන්වන්ගෙන් හැඩවන මේ රක්ෂිතයේ අසෝක පෙතියා (Systomus asoka), ජොන්ක්ලාස් ගේ පුල්ලි අභිරාවා (Lepidocephalichthys jonklaasi) , ලේතිත්තයා (Puntius titteya),  තල්කොස්සා (Belontia signata), හල්මල් දන්ඩියා (Rasboroides vaterifloris) , කොළ රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), ගල් වැලිගොව්වා (Sicyopteres halei), ඉරි අභිරාවා (Acanthocobitis urophthalmus) යන විශේෂ වාර්තා වී ඇත.

ලයිකන, පෙද පාසිවලින් හැඩ වුණු ගල් කුළු අතරේ රෑන් වශයෙන් මෙන්ම තනි තනිව පිහිනා යන මේ මත්ස්‍යයින් වෙන් වෙන්ව හදුනා ගන්නට නම් ඒ හා බැදුණු සුවිශේෂි දැනුමක් තිබිය යුතුමය. මේ විසිතුරු මත්ස්‍ය ලෝකය පෝෂණයට අවැසි ආහාර මේ වනය නොඅඩුව ලබා දෙන්නේය.

ජල ලෝකයෙන් මදක් ඈත් වූ අප මීළගට තුරු ලතා අග වසා කන්කළු නාද පතුරුවන පක්ෂි ලෝකයට අවධානය යොමු කළෙමු.ලංකාවේ  පක්ෂි වාසභූමි සලකා බැලීමේ දී පක්ෂින්ට ඉතා වැදගත් භූමිභාගයක් ලෙසින් මෙය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලංකාවට ආවේණික ඉහළ කදුකරයේ වාර්තාවන විශේෂ හැර අනෙක් සියලු පක්ෂින් මෙහි වාර්තා වීම නිසාවෙනි. මෑතක දී හදුනාගන්නා ලද පඩුවන් බස්සා (Serendib Scops Owl)  පළමුවරට වාර්තා වූයේ ද මේ බිමෙන් බව කියැවේ. එහෙයින්ම දෙස් විදෙස් පක්ෂි ලෝලීන් අතර කුරුලු කැලය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. මීට අමතරව ලංකාවේ දුර්ලභ ආවේණික පක්ෂි විශේෂ වන හිස සුදු මයිනා (White - faced Starling), බට ඇටි කුකුළා (Green - billed Coucal), හිස අළු දෙමලිච්චා (Ashy - headed Laughingthrush), පිළිලගෙඩි සුටික්කා (Legge's Flowerpecker) සහ දුර්ලභ නේවාසික පක්ෂිකු ලෙසින් සැලකෙන දුම්කවුළුවා (Dollarbird) මේ වනාන්තරයේ දී දැකගත හැකිවෙයි. කුරුළු පාරාදීසයක් ලෙසින් කුරුඵ ලෝලීන්ට තම දවස ගෙවන්නට මේ බිම වඩා සුදුසු බව දැන් නම් වඩා පැහැදිලි කරුණකි.

උභය ජීවින්ගෙන් ඉතා ම පොහොසත් වනාන්තරයක් වන මෙහි වාර්තා වන විශේෂ අතරින් 75%ක් ලංකාවට ආවේණිකය. කොටගම ගේ කුරු ගෙම්බා (Duttaphrynus kotagamai) ,දික්හොඹු ගස් මැඩියා (Taruga longinasus) වැනි ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ බොහෝමයකට මේ වනාන්තරය නිවහනකි. ලංකාවට ඉතා දුර්ලභ ආවේණික උරග විශේෂයක් වන මූකලන් තෙලිස්සා (Hypnale zara), කෙටිවල් මැඩිල්ලා (Aspidura drummondhayi), අං අග කටුස්සා (Ceratophora aspera) ද මෙහි වාර්තා වෙයි. පරිසරය හා ඒකාබද්ධව මේ සත්ත්ව විශේෂ පරිසරයට ම හැඩ ගැසී ඇති ආකාරය සැබැවින්ම සුන්දරය.

කෙමෙන් කෙමෙන් දවස ගෙවී ගොස් ඇත. ආපසු නිවෙස් බලා හැරෙන්නට වේලාවයි. ඒ බව හගවන්නට දෝ මෙන් කෙමෙන් කෙමෙන් මිහිදුම් සේල මේ තුරු ලතා වසා පැතිරෙන්නට පටන් ගෙන ඇත. සීතල සුළං රැළි වත පුරා හිරිගඩු නංවන්නට සමත් වෙයි. දිනය ගෙවී ගොස් ඇති බව අපට පසක් වූයෙන් අපි මේ නිහඩ බිමෙහි මතක සැමරුම් අතරට එක් කරගනිමින් සමුදුන්නෙමු.

ජායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි

2016 ජනවාරි

ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...