Skip to main content

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....



නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....

පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - මාතලේ
ගමන් මාර්ගය - මාතලේ කූඹියන්ගොඩ පාර ඔස්සේ මාතලේ නගරයට පිවිස හිග්ගොල්ල පාරේ මීටර 500ක් පමණ ඉදිරියට ගිය විට උද්‍යානයට පිවිසිය හැකිය

උදෑසන හිරු රැසින් බැබළීගත් කුඩා පිණි බිදු එකිනෙකා පරයා වර්ණ සිත්තම් මවන්නේ නිල් පහැ තණ පළස මත වැතිර ගත් රෝස හා සුදු පැහැ මල් කුමරියන්ගේ විදාගත් පෙති හැඩ කරමිනි. රන්වන් පැහැ ගත් සේලයකින් හා රන් අභරණින් හැඩ වී තම ස්වාමියා සමග ඇවිද යන මේ යුවළ තම ජිවි‍තයේ සිහින සිත්තම් කරන්නට තැත් කරන අයුරු පෙනෙයි. විල්ෂෙයා කදු පන්තිය පාමුල මේ බිම් පෙදෙස වසාගත් මිහිදුම් සේලය තවත් නොබෝ වේලාවකින් ඉවත්ව යනු ඇත. කලබලකාරී දවසක ඇරඹහමා යන සිතල නැවුම් මද නල ගත සිත ප්‍රබෝධයෙන් පුරවයි.  

අක්කර දහඅටක වපසරියක් පුරා විහිදුණු, මාතලේ තනායමට හා කිතුණු දේවස්ථානයටත් , තවත් පසෙකින් විජය විද්‍යාලයටත් මායිම්ව පිහිටා ඇති රමණීය භූමියක මෙම උද්‍යානය නිර්මිතය. මාතලේ හිටපු මන්ත්‍රීවරයෙකු හා මාතලේ විජය විදුහලේ විදුහල්පති ධුරය දැරූ වී.ටී.නානායක්කාර මහතා නමින් මෙම උද්‍යානය නම් කර ඇත.‍

ඓතිහාසික මාතලේ කැරැල්ලට සම්බන්ධ වූ විරුවන් අට දෙනෙකු ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගෙන මෙම උද්‍යානය ඉදිරිපස තිබූ ඇසළ ගසක එල්ලා මරා දැමූ බව කියැවේ. අදටත් මේ උද්‍යාන භූමිය තුළ විවිධ වර්ගයේ විශාල කදන් සහිත අතුපතර පැතිර ගත් ගස් තිබූ බවට සාධක ඉතිරිව ඇත්තේය. වසර දෙසියක පමණ ඉතිහාසයක් ‍ඇති බව කියැවෙන බෝ වෘක්ෂය ඒ සදහා සාක්ෂි දරයි.  


ඡායාරූපය: අන්තර්ජාලයෙනි

එපමණක් නොව මෙහි ඇති දුර්ලභ ගණයේ ශාක අතර නිල් වෙරළුවලට (Elaeocarpus gannitrus) හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. රුද්‍රාරක්ෂ යනුවෙන් සංස්කෘතයේ දී හැදින්වෙන නිල් වෙරළු හා සම්බන්ධ විශ්වාසයන් දෙකකි. හින්දුන්ට අනුව මෙම පළතුර රුද්‍ර හෙවත් ශිව දෙවියන්ගේ ඇස් යන අරුත ගනියි. ඒ අනුව මේවායේ ශිව දෙවියන්ගේ ශක්තිය  මෙන්ම ඖෂධීය ගුණයද අන්තර්ගත බව විශ්වාසයයි. අනෙක නම්, රාම රාවණ කතා පුවතට සම්බන්ධය. එහි කියැවෙන්නේ රාම කුමරුට ඖෂධ සොයා ඉන්දියාවට ගිය හනුමන්තා විසින් රැගෙන එන ලද කදුගැටයේ තිබී මෙම වෘක්ෂය ව්‍යාප්ත වූ බවයි. කෙසේ වෙතත්, නිල් වෙරළු මෙහි ව්‍යාප්තවන්නට ඇත්තේ විදේශීය පක්ෂීන්ගෙන් බව විද්‍යාත්මක මතය වී තිබේ.

මේ හැරුණු කොට උද්‍යානයේ තාල වර්ගයට අයත්වන ගස් වර්ග මෙන්ම විවිධ විසිතුරු වෘක්ෂයෝද දැක ගත හැකිවෙයි. ඒ අනුව මෙය සියලු පරිසර පද්ධතින් එක්තැන් වූ ක්ෂේම භූමියකට සමකළ හැකිය.

දාස්පෙතියා, රෝස, කානේෂන්, කපුරු ආදී වූ මල් ලෝකයේ මල් කුමරියන්ගෙන් හැඩවන මෙම උද්‍යානයේ, මල්වල රොන් සුණු එක්කාසු කරන්නට ඉගිල යන සමනලයින්ගෙන් හා මී මැස්සන්ගේ බිගු නදින් හැඩවී ඇත්තේය.

එමෙන්ම නා නා විධ පක්ෂීන්ගෙන් හැඩ වන මේ පරිසරය තුළ ලංකාවේ මධ්‍යම කදුකර පරිසර පද්ධතියට ආවේණි පක්ෂීන් මෙන්ම සංචාරක පක්ෂීන් ද දැකගත හැකි බව හාත්පස සිසාරා තම විමසිලිමත් දෑස යොමු කරන්නෙකුට පසක් වනු ඇත.

උදෑසන 7.00 සිට සවස 4.30 දක්ව මෙහි සිරි අසිරි නරඹන්නට අපට අවසර ලබා දී ඇති අතර ටිකට් පතක මිල රුපියල් එකසිය පණහකි. සේවක මහත්මමහත්මීන් අට දෙනෙකුගෙන් සමන්විතවන කාර්ය මණ්ඩලය හා මාතලේ මහ නගර සභාවේ පාලනයට නතුව මෙම උද්‍යානය පවත්වාගෙන යනු ලැබේ.

මෑත භාගයේ දී විවිධ වෙනස්කම්වලට ලක්කළ මෙහි කෘෂි අංශය නියෝජනය කරමින් ඖෂධ, මල්පැළ, පළතුරු ආදීන්ගෙන් සමන්විත වූ ආදර්ශ පැළ වගාවක් ද දැකගත හැකිය. එමෙන්ම මෙහි කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ද පවතින්නේ අනෙකුත් නගර උද්‍යාන පාලනයට ආදර්ශ සපයමිනි. සොදුරු බිමක ගත කළ මේ හෝරා කිහිපය තුළ ගතට මෙන්ම නෙතටද හරිත පෙතක සොදුරු බව විදින්ගන්නට හැකි වූයේ අප තවමත් මේ ‍පින් බිමෙහි උපන් පිනැතියන් වීම නිසාවෙනි.

2016 නොවැම්බර්

බුද්ධික එස්. රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...