Skip to main content

තන්තෝන්රිඊශ්වරන් කෝවිල

 තන්තෝන්රිඊශ්වරන් කෝවිල

දිස්ත්‍රික්කය :- මඩකලපුව

දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශය :- පට්ටිපාලෙයි දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශය

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය :- මන්මුණේ  නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ගමන් මග :- මඩකලපුව-කල්ලඩි-නාවල්කුඩා-කාත්තන්කුඩි - අරයම්පති - පුදුවන්කරෙයි වෙත පිවිස පාලම් පාරුව උපයෝගී කොටගෙන කලපුව  තරණය කිරීමෙන් පසුව මන්මුණේ බටහිර ඉවුරේ සිට මීටර 300ක් පමණ බටහිර දෙසට රට තුළට ගමන් කිරීම

නාදස්වරම් හඩිනුත්, තවිල් බෙරයේ හිත සලිත කරවන හඩිනුත්, කෝවිල් බිම ප්‍රාණවත්ය. බැතිබර හද මඩල දෑසින් දක්වන්නට තරම් ධාර්මික බැතිමතුන් කෝවිල් බිම වාඩි ගෙන හිමින් යමක් මුමුණන්නට වූහ. උස් හඩින් ඇසෙනා සංගීතය, තද වර්ණයෙන් සැරසුණු සෙනග සහ නොනවත්වා නාද වෙන සීනු නාදය මැද වුවත් හිතට දැනෙන්නට වූයේ මහා සැනසීමකි. දෑස් වසාගෙන භක්තියේ කිමිද, ජීවිතයේ දුක් ගොන්න මදකට බිමින් තබන්නට විශ්වාසයෙන් යුතුව හෙටක් ගැන ප්‍රාර්ථනා කරන්නට මමද මගේ ජීවිතයට මොහොතකට ඉඩ ලබා දුන්නෙමි.

රත්වූ වැලි කැට මතින් මා නිරුවත් පය තැබුවේ හිතේ කිසිදු කහටක් නොමැතිවය. පීදෙමින් එන ගොයම හා තුරුහිස් පිස හමා එන මද වියළි සුළගට මුසුවන සියුම් දුහුවිල්ලට මා නෙතු අඩවන් වූයේ නමුදු එය මට හිරිහැරයක් නොවිණි. වියළි සුළං රැළි එතරම් සුවදායක නොවූවද ඒ හා මුසු වී හමා එන කපුරු සුවද මා ආඝ්‍රාණය කළේ ඉතාමත් ආශාවෙනි.

කපුරු සුවද හා එක්වුණු කුංකුම සුවද, කට්ටකුමංජල් දුම, තැන තැන දැල්වුණු පහන් වැටි, සිවලිංගය හා ශිව-පාර්වතීගේ දේව රූප පාමුල මෙන්ම නන්දි ගවයා වටා වර්ණවත්ව විසිරී ගිය සුවදැති මල් පියළි වලින් අලංකාර වූ මේ පුදබිමෙහි පහන් වූ සිතින් යුතුව දෙවියන් වන්දනාමාන කරනා බැතිමතුන් මා සිත මොහොතකට එක තැනක නතර කරන්නට සමත් විණි.

ශිව හෙවත් ඊශ්වර දෙවිදුගේ සිතැගි අනුව විශ්වයේ සියලු කටයුතු සිදුවන බව හින්දුන්ගේ විශ්වාසයයි. ශිව යනු දෙවියන් අතර විද්‍යාවට,  වෛද්‍ය ශාස්ත්‍රයට අධිපති වන මහා විද්‍යායා ද වේ. ඊශ්වර, ශිවපුත්‍ර සිාමනී ආදී විවිධ නම් රාශියකින් යුක්ත “ශිව” දෙවිුන් නරක, නපුර සහ පුහු අහංකාරය, බලකාමය, කුරිරු දුර්දන්ත බව හා අධර්මිෂටකම විනාශ කරන බව සැලකෙයි.

ඡායාරූපය: අන්තර්ජාලයෙනි

ශිව දෙවියන් වෙනුවෙන් කැපවුණු ත්‍රිකුණාමලේ කෝණේෂ්වරම්, මන්නාරම තිරුකේතීෂ්වරම්, දෙවිනුවර තෝණ්ඩීෂ්වරම්, යාපනයේ නගුලේෂ්වරම් සහ මඩකලපුවේ තන්තෝන්ඊශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ ශිව ලිංග පිහිටා ඇති පංච ස්ථානයන් හෙවත් පංචේෂ්වරම් අතරට ගැනෙයි.  ඒ අතරින් මඩකලපුව කොක්කඩිචෝලයි ප්‍රදේශයේ පිහිටා ඇති තන්තෝන්ඊශ්වර කෝවිල හෙවත් කොක්කඩිචෝලයි ශිව කෝවිල හින්දු බැතිමතුන්ගේ අචල විශ්වාසයට පාත්‍ර වූ ගෞරවනීය බිම්කඩකි.

මඩකලපුව නගරයේ සිට කිලෝමීටර දහතුනක් පමණ දකුණු දෙසින් කලපුවෙන් වෙන්වූ බටහිර ඉවුරේ බිම්කඩෙහි පිහිටා ඇති කොක්කඩිචෝලයි කුඹුරු යායවල් වලින් හා තුරුහිසින් ගහන වූ වන මංපෙතකටද උරුමකම් කියන, මන්මුනේ ප්‍රාදේශිකයට අයත් සුන්දර වියළි කලාපයට අයත් ගම්මානයකි. ත්‍රිකුණාමල - මඩකලපුව අධිවේගී මාර්ගය නැතහොත් ඒ 15 මාර්ගයේ කාත්තන්කුඩි නගරය දක්වා පැමිණ අරයම්පති හන්දියෙන් දකුණට හැරී පුදුවන්කරෙයි වෙත පිවිස කලපුවේ නැගෙනහිර ඉවුරින් පාලම් පාරුවකට ගොඩවී කලපුව තරණය කිරීමෙන් පසුව මීටර 300ක් පමණ ගොඩබිම තුළට ගමන් කිරීමෙන් කොක්කඩිචෝලයි වෙත ගමන් කළ හැකි අතර එය කෙටිම ගමන් මාර්ගයයි.

කලපුව හරහා පියාඹා එන කොකුන් මේ ගම්මානයේ තිබු අතුපතර විහිදගිය කොකටි ගසක (Kokkatti Tree) ලැගුම් ගෙන විඩා නිවා ගන්නා බවත් ඒ දසුන ව්‍යවහාරයට එක්වීමෙන් කොක්කඩිචෝලයි යන්න නිර්මාණය වූ බවත් කියැවේ. එහි පිහිටා ඇති තන්තෝන්රිඊශ්වරන් කෝවිල ( Than Thonri Easwaran Kovil) ඉපැරණි පුරාවෘත්තයන්ට අනුව වසර දසදහසකටත් එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන්නකි. ද්‍රවිඩ බස් විහරණයට අනුව “තන් තොන්රි” යනු “ඉබේ පැන නැගුණු හෝ හටගත්” යන අරුත ගනියි. මෙහි වන්දනාවට පාත්‍ර වන ශිව ලිංගය එසේ ඉබේ හට ගත් එකක් බව මතයකි.

පුරාවෘත්තයනට අනුව උලගනාදන් සහ නාච්චියාර් යන රාජකීය පවුලකට සබදතා ඇති කුමරකු හා කුමරියක ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට මඩකලපුව ප්‍රදේශයට පැමිණෙති. එකල මෙරට සිහසුන දරන මේඝවර්ණ රජු හමුවට පැමිණෙන මේ දෙදෙනා තමන්ට ජීවත් වීම පිණිස කුඩා බිම් කඩක් ලබා දෙන්නැයි කරන ඉල්ලිමට අනුව රජු විසින් කොක්කඩිචෝලයි ප්‍රදේශය ඔවුන්ට ලබා දෙයි. වනය එළිපෙහෙළි කර ගැන්ම පිණිස උලගනාදන් ගස් කපන්නෙකුට එම කාර්ය පවරයි. ගස් කපන්නා විසින් කපන ලද එක් ගසකින් රුධිරය වෑස්සීමට පටන් ගත් අතර ඒ දැක විස්මයට පත්වන උලගනාදන් මේ සිද්ධිය නාච්චියාර්ටද දන්වයි. මේ සිද්ධිය සියැසින්ම දැක ගන්නට එතැනට පැමිණෙන නාච්චියාර්ට දැක ගන්නට ලැබෙන්නේ ශිව දෙවියන‍් සංකේතවත් කරන ශිව ලිංගයකි. ඇය තම සළුවෙන් මෙම ස්ථානය ආවරණය කරන්නීය. පසුව එහි කුඩා මඩුවක් තැනෙන අතර පසු කාලීනව කළුගලින් මෙම ශිව ලිංගය පැන නැගුණු ස්ථානයෙහි කෝවිලක් නිර්මාණය කළ බව පැවසෙයි. ඉබේ හටගත් නිසාවෙන් මෙය ද්‍රවිඩ බසෙහි තන්තෝන්ඊශ්වර කෝවිල නමින් ප්‍රසිද්ධ වී ඇති අතර කොක්ඩිචෝලයි ශිව කෝවිල නමින්ද එය හැදින්වේ.

බැතිමතුන් මෙම පුදබිමට පැමිණෙන්නේ තමන්ට අවැසි දේ ප්‍රාර්ථනා කිරීමෙන් ඒ ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. බොහෝ විට ශිව ලිංගය වන්දනා කෙරෙනුයේ දරුඵල නොමැති විවාහක කතුන්ට දරු ඵලද විවාහ ප්‍රමාද වන අයට විවාහ සාර්ථක වීමටද රැකීරක්ෂා දියුණුව හා ව්‍යාපාර දියුණුව ඇතුළු ජීවිතයේ බොහෝ අපේක්ෂා මුදුන්පත්කරගැනීමේ අභිලාෂයෙනි.

පෘතුගීසි පාලන සමයෙදී මෙරට බෞද්ධ විහාරස්ථාන මෙන්ම හින්දු ආගමික සිද්ධස්ථානයන්ද කොල්ලකෑමට ලක්වූ අතර ඒවා කඩා බිද දැමීම සිදු විණි. එකල මඩකලපුව ප්‍රදේශයේ විසූ පෘතුගීසි ජනරාල්වරයෙකු ‍කොක්කඩිචෝලයි ශිව කෝවිලට පැමිණෙන්නේ එය විනාශ කර දැමීමේ අරමුණ ඇතිවය. කෝවිල බාර පූජකවරයා හමුවී තමන් මෙම කෝවිල කඩා දමන බව පවසන ඔහු ඇස ගැටෙන්නේ ඉදිරිපස ඇති නන්දි ගවයාගේ රූපයයි. මෙම සතාගේ රූපය මෙතැන තිබෙන්නට හේතුව ඔහු පූජකවරයාගෙන් විමසා ඇත.

නන්දි ගවයා යනු හින්දූන්ගේ දේවත්වයට පාත්‍ර වූ සත්ත්වයෙකි. කෝවිලෙහි තිබෙන මෙම ගව අනුරුව ළගට ගොස් එහි කනට කර තම සිතැගි පවසන බැතිමතුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට මෙම ගවයා සමත් වන බව ජන විශ්වාසයයි. ඒ බව අසන ජනරාල්වරයා “එහෙනම් නුඹේ ගවයාට තණකොළ කන්නට පුළුවන්ද ?” යැයි අසනවාත් සමගම එහි වූ ගව රූපය ජීවමාන ගවයෙකු බවට පත්ව තණ උළා කෑ බවත්, ගොම පිඩක් හෙළා නැවත සැණෙකින් ගල් අනුරූපය බවට පෙරැළිගත් බවත් කියැවේ. ඒ දැකීමෙන් පසුව ජනරාල්වරයා තමන් ආ කාර්යය පසෙකලා ආපසු හැරී ගිය බව ජනවහරේ කියැවේ. වත්මනෙහි දක්නට ලැබෙන කෝවිල නිර්මාණය කෙරෙන්නේ මීට වසර 1400 කට පමණ පෙර බව සැලකෙයි. එය කොහොඹ දැවයෙන් තැනුනු කුටිවලින් යුතුව ඇති අතර 1978 වර්ෂයේ හමා ගිය සුළිසුළගකින් මෙම කෝවිලට හානි සිදුවූ බවත් පසුව නැවතත් එය ගම්වාසීන්ගේ සහයෝගයෙන් ගොඩනැගුණු බවත් කියැවේ.

කෝවිලෙහි සියලු දිනපතා පුද පූජා පැවැත්වෙන්නේ වේද ශාස්ත්‍රයෙහි එන චාරිත්‍රයන්ට අනුගත වෙමිනි. මෙහි වාර්ෂික තේරු උත්සවය ඇරඹෙනුයේ අගෝස්තු මාසයේ නව හ දැකීමෙන් පසුවය. අතීතයේ ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් කටයුතු කළ “මඩකලපු ධර්මසිංහම්” නැමැත්තාගේ කාලයේදී මෙම සිද්ධස්ථානයට තේරු රථ තුනක් චෝල රාජ්‍යයෙන් ගෙන්වූ බවත් ඉන් පසුව මෙහි ‍වාර්ෂිකව තේරූ උත්සවය පැවැත්වුණු බවත් කියැවේ. අදත් මෙම භූමියට පිවිසෙන්නෙකුට දැවයෙන් කළ තේරූ රථයක් දැක ගත හැකි වන අතර එහි ඉතිහාසය කොපමණ දුරට විහිදේදැයි ගණනය කිරීම උගහටය.

ප්‍රතාපවත් හා අභිමානවත් ලෙසින් නැගී සිටින විචිත්‍ර දේව පිළිමයන්ගෙන් හැඩ  වුණු “රාජ ගෝපුරම” හෙවත්‍ කෝවිලේ පිවිසුම ඉතා උස්ව නිර්මාණය වී ඇත. ඉබේ පැන නැගුණ ශිව දේව ලිංගය සහිත ගෘහය මෙහි ප්‍රධාන දේවාල ගෘහය වන අතර එය ශිව-පාර්වතී රූපය සහිත තිර ආවරණයකින් වසා ඇත. රුධිරය වෑස්සුණු ගසද මෙහි ඇති බව පැ‍වසෙන අතර එය සාමාන්‍ය ජනයාට දැකබලා ගත නොහැක.

මෙහි ඇති දෙවැනි කුටිය ජීවමාන රුවට පෙ‍රැළිගත් නන්දි ගවයාට වෙන්ව ඇත. තෙවැනියට ඇති ගෘහයට බැතිමතුන් රැස්වන්නේ ආගමික කටයුතු වලට නිරත වීමටය. දෙපසින් පේළි දෙකක් සේ සැදී පුජකවරයාගේ ස්තෝත්‍රවලට අනුව‍ දෙවියන් යදින පිරිස මෙහි සිටිති. මලින් හා පළතුරින් පිරුණු පූජා වට්ටි අතැතිව අඩවන් වූ දෙනෙතින් ආගම් භේදයකින් තොරව යාඥාවන්හි නිරත වන බැතිමත්හු මෙහි අඩුවක් නොවෙයි. එහි බිත්ති වර්ණවත් රතු හා කහ වර්ණයන්ගෙන් සැරසී තිබෙනු දැකගත හැකිය. මේ හැරුණු කොට ගණ දෙවියන් හා මුරුගන් හෙවත් කතරගම දේව ප්‍රතිමා තැන්පත් කෙරුණු කුටිද මෙහි දැකගත හැකිය.

කෝවිලෙහි ප්‍රධානම උත්සවය වන තේරු උත්සවය අලංකාර කාවඩි නැටුම් හා වර්ණවත් දේව ප්‍රතිමා තැන්පත් කෙරෙන තේරු රථ වීදි සංචාරයකින් සමන්විතය. ඒ හා බැදුණු අපූර්ව පුරාවෘත්තයක්ද මා සවන වැකිනි. එක් තේරු උත්සවයකදී තේරු රථයක් වීදි සංචාරයෙහි යෙදෙද්දී එක් ස්ථානයක නතර වූ බවත් එය සෙලවිමටවත් නොහැකි වු හෙයින් පසු දිනට එය ඇදීම පසුදිනට තබා ගම්වාසීන් විසිර ගොස් ඇත. එහෙත් පසු දින එම ස්ථානයට ගිය ගම්වැසියන් තේරු රථය දැකගත හැකි නොවිණි. ගම්වාසින් එහි රෝද සළකුණු ඔස්සේ එය සොයා ගොස් ඇත. එක් තැනකදී තේරු රථය මඩකලපුවේ ජලපහරකට ඇද වැටී ඇති අතර එම ස්ථානය අදද නම් කෙරෙන්නේ තේරු පල්ලම නම් අදහස ඇති “ තේර් තෙන්ද්‍ර පල්ලම්” යන ද්‍රවිඩ නාමයකිනි.

මෙම කෝවිලේ නන්දි ගව රූපය පොලොන්නරු යුගයේ නිර්මාණය වූ පොලොන්නරු ශිව දේවාලයේ අනුරූවට සමානකම් දක්වයි. අද්භූත හා විස්මය දනවන සුළු පුරාවෘත්ත වලට සබකම් කියන මෙම පුද බිම වන්දනාමාන කරන්නට වාර්ෂිකව කතරගම පාදයාත්‍රාවේ යෙදෙන ජනයා අමතක නොකරයි.  ඉතිහාසය හුදු හිතලුවක් සේ සලකා බැහැර කිරීම කළ නොහැක්කක් වන්නේ වර්තමානය සහ අනාගතය තැනෙන්නේ අතීතය මතින් වන නිසාවෙනි. ඔප්පු කර, සනාථ කළ නොහැකි ඇතැම් දේ අපටත් නොදැනීම ජීවිතයේ කොටසක් බවට පත්වන්නේ ලොව සෑම දෙයකටම වැඩියෙන් සිත බලවත් වන නිසාවෙනි. එහෙයින් ජීවිතය සාරවත් කරවන ඇදහිලි හා විශ්වාසයන් සත්‍යයෙන් කොතෙක් දුරස් වුවද කම් නැතැයි විටෙකදී සිතේ. එහෙව් විශ්වාසයක් සිත්හි දරාගෙන වන්දනාවේ යෙදෙන බැතිමතුන් හින්දු භක්තිකයන් පමණක්ම නොවන්නේය. වසර ගණනාවක් මුළුල්ලෙහි දකුණෙහි ජනයා‍ට වැපුදාගන්නට නොහැකි වූ මේ පුදබිමේ අසිරිමත් බවත් භක්තිමත් බවත් මට දැකගන්නට මෙන්ම විගන්නට ලැබීමත් භාග්‍යයකි.

දහවල හිරු කිසිදු අනුකම්පාවකින් තොරව දිලෙමින් අහස්ගැබ අරා සිටින මුත්, මේ බිම පුරා පැතිරෙන කපුරු සුවද මුසු වූ සුළං රැළි මගේ ගත වෙළා ඇත්තා සේ දැනෙයි. මේ පුදබිමේ හමුවූ සෑම මිනිසෙක්ටම මම ආදරය කරන්නෙමි. එය තවත් එක් සිද්ධස්ථානයක් යැයි නොහැගෙන තරමටම ඒ පුදබිම මා සිතට සමීප වූයේ එහි සැබෑ අනුහස නිසාදැයි නොදන්නෙමි. මේ සියලු දෑ මේ අයුරින් සිතේ සනිටුහන් වූයේ ඒ නිසාවෙන් යැයි මම අනුමාන කරන්නෙමි.

2016 දෙසැම්බර්

බුද්ධික එස්. රත්නායක

ටෙක්ලා චාන්දනී


 

 

 

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව