Skip to main content

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත


දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත




දකුණු  හා නැගෙනහිර දෙසින් මහවැලි නිම්නයෙන් ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද හුදකලා වූ මේ ශිඛර තොමෝ සියල්ලන්ගෙන්  ම සැවෙන්නට උත්සාහ කරන්නාක් මෙන් නිරන්තර ඝන මීදුම් සේලයට මුවාවී සිටිති. නීල, හරිත, රන්වන් සහ දුඹුරු පැහැයන්ගෙන් වර්ණවත්ව  එකිනෙකට යාව පැතිරපවත්නා මේ කඳුපන්ති තොමෝ ශිඛර කීපයකින් ම සමන්විත වෙයි. ඒ අතරින් ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දුම්බානගල, කළුපහන, වමාරපුගල, දෝතළුගල, පතනගල, තෙලබුගල හා ලකේගල සුපතලය. මේ ප්‍රදේශයටම ආවේණික වූ දැකුම්කළු සොබා සෞන්දර්යය, පුළුල්  දර්ශන පථයට හසුවන්නා වූ අයස්කාන්ත සුන්දරත්වය මෙන් ම මේ මිටියාවතේ කඳු නිම්න අතරින් ඇදී යන්නා වූ සුනිමල ජල ධාරාවෝ ද එහි යනෙන අයවලුන්ගේ නෙත් සිත් සොරාගන්නට සමත් වෙයි.

නිරන්තරව ඝන මීදුමින් වැසී  ඇති නිසාවෙන් දුම්බර යන නාමය පටබැඳි මේ කඳුපන්තිය විදේශිකයන් ට නම් නකල්ස් නම් විය. ඒ මානව හස්තයක් මිට මෙලවූ කල් හි ඇිලි පුරුක් දක්නට ලැබෙන ආකාරයෙන් මේ කඳුවැටියේ ශිඛර 5ක් දෘශ්‍යමාන වූ නිසාවෙනි. බටහිර බෑවුමෙ හි අධික ලෙස බට වර්ගයන්ගෙන් ගහන වූ බිම් ඇති නිසාවෙන් ඇතැම්හු මෙය “බටදඬු කන්ද” නමින් ද හඳුන්වනු ලබති.

ගිනිකොණ දිශාවේ සිට වයඹ දිශාවට හුන්නස්ගිරිය සිට ලග්ගල දක්වා සැතපුම් 18ක් පමණ දිගින් යුතු මේ කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශය හෙක්ටයාර 30,000 ක් පමණ වන බව කියැවේ. නකල්ස්, තෙත් හා වියළි කලාපයට මායිම්ව පිහිටා තිබීම හේතුකොටනෙ වනාන්තරය තුළ පුළුල් කාලගුණික පරාසයක් දැකිය හැකි අතර, කඳුවැටියේ නැගෙනහිර පෙදෙසේ වියළි කාලගුණයක් ද නිරිතදිග බෑවුමේ අතිශය තෙත් කාලගුණයක්  ද දැකිය හැකිය. එකිනෙකා පරයමින් නැගී සිටින්නා වූ මෙහි ශිඛරයන් මීටර 1900 ක් (අඩි 6000) පමණ උසකට විහිදෙයි. නිරිත හා ඊසානදිග මෝසම්වල වර්ෂාපතනයන්ගෙන් පෝෂණය වන හෙයින් මහවැලි ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ද ඉතා වැදගත් තැනක් ගනියි.

දුම්බරට පිවිසුම් මං කිහිපයකි. එකක් මහනුවර, මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය හන්දියෙන් මල්වත්ත හරහා හැරී මීමුරේ ඔස්සේ ද තවත් පසෙකින් කොළඹ, මාතලේ, රත්තොට හරහා ඉලුක්කුඹුර මාර්ගයෙන් ද කොළඹ - නුවර මාර්ගයේ තෙල්දෙණිය, රන්ගල බඹරැල්ල ඔස්සේ ද මෙහි පිවිසිය හැකිය. ඡායාරූ සිත්රෙකුට නම්, කැමරා ඇසෙහි සටහන් කරගන්නට සොඳුරු දසුන් බොහෝමයකි. කවියෙකුට, තෙලිතුඩින් සිත්තම් කරන්නට ඇවැසි වූ මනස්කාන්ත දසුන් මෙහි සුලබය. පාරිසරික විද්වතුන්ට නම් මෙහි අධ්‍යයනය කරන්නට දෑ බොහෝමයකි. සුවිශේෂී වූ ශාක හා සත්ත්ව විවිධත්වයකින් සමන්විත මේ භූමිය සොබාදහමින් අපට දායාද වූ මිහි පිට සුරලොවකි. මිහිලිය තුරුමල්  දමින් සුසැදි නෙක රටා මවන්නට සමත් වන්නේ, සුනිල දිය දහරින් ද නිකලැල්  වන පියසින් ද මේ මිටියාවතේ කිසිදු අඩුවක් නොමැති නිසාවෙනි. තව ද දුම්බර වේවැල්, මා වේවැල් හා තම්බොටු වැල් ආදී වූ වැල්වර්ගවලින්  ද ගහන වු පෙදෙසෙකි.

වනයේ සුන්දරත්වය වැඩි කරවමින් කඩා හැලෙන දියදහරා සහ ගංගා දෙපස පැතිර පවත්නා ගංගා ද්‍රෝණි වන තීරයන් ද තෙත් හා වියළි තෘණ බිම් ද නකල්ස් වන පෙතේ පාරිසරික වටිනාකම් මොනවට විදහා  පායි. මෙහි නැගෙනහිරින් උපත ලබන හීන් ගඟ, මීමුරේ ඔය, කයිකාවල ඔය සහ මහ ඔය ද උතුරු ප්‍රදේශයේ පිහිටි කළු ගඟ ද අවසන මහවැලි ගං කොමලිය වෙත එක්ව අත්වැල් බැඳ ගනී.  

උඩවැඩියා, වන රාජ, කඳුලැස්ස, බිනර , බෝවිටියා ආදී මල්වර්ග ද මීවන ද මෙහි දුලබ නොවෙත්. දිවියා, ගෝනා, වැලි මුවා, කොළ දිවියා, වල්  ඌරා වැනියවුන් ද ශ්‍රී ලංකාවට ආවේණික වු රිලවුන්, කොළ වඳුරන් ආදීන් ද දඬු ලේන්නු ද මෙය තම නිවස්න කොටගෙන වෙසෙති.  මේ ඉසව්ව පුරා තැනින් තැන රැඳී ඇති දියසීරාවෙන් පෝෂණය ලබන දියකඩිති අසල ඇතැම් විටෙක විමසිල්ලෙන් බැලූ කල් හි දියබල්ලන් ද දැකිය හැකිය.

දුම්බර මිටියාවතෙහි වෙසෙන්නා වූ ගැමියෝ ඔවුන්ට ම ආවේණික වූ කෘෂිකාර්මික රටාවකට හා ජීවන රටාවකට හැඩ ගැසුනෝ වෙති. ඔවුහු අව්‍යාජය. අහිංසකය. නගරයෙන් ඈත්ව සිටීම කරණකොටගෙන ඔවුහු තම සම්ප්‍රදාය, චාරිත්‍ර වාරිත්‍ර නොවෙනස්ව තම මතු පරපුරට දායාද කරන්නට සමත්ව සිටිති. පොල් අතු සෙවිලි කළ පියෙසිවලින් සහ ධාන්‍යභවබෝග ගබඩා කිරීමට ඇවැසි ගෘහයන්ගෙන් ද යුත්  සරල දිවි පැවැත්මක් ගෙවන්නා වූ මේ ගැමියෝ හේන් ගොවිතැනින් දිවි ගෙවන්නෝ වෙති. දුම්බර වන පෙත ඔවුන්ට අවැසි ඔසු, කිතුල් හකුරු සහ කිතුල් රා වැනි දෑ සපයා දෙන්නට සමත් වෙයි.

කඳුවැටියේ නැගෙනහිර බෑවුමට වෙන්නට කළුවර, බුරුත, මිල්ල වැනි වටිනා ශාකයන් දැකිය හැකිය. අතුපතර සැඟවී ගත් පක්ෂි සමූහයා මෙහි චමත්කාරය තවත් වැඩි කරන්නට සමත්ය. ඔවුන් අතර ලංකා රන් නළල් කොට්ටෝරුවා, හිස දුඹුරු දෙමලිච්චා, ගිරා මලිත්තා, ලංකා සැලළිහිණියා, කඳුකර වී කුරුල්ලා ආදී පක්ෂීන් ද දැකිය හැකිය.

දුම්බරට පිවිසෙන්නෙකුට නරඔන්න්නට නම් තැන් බොහෝමයකි. මාතලේ - ලග්ගල මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වම්පසට වනසේ පිහිටා ඇති කිරිමැටියා කන්ද හෙවත් රිවර්ස්ටන් එවැනි සුන්දර සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයකි. මුහුදු මට්ටමින් මීටර 1500 ක  පමණ උසින් පිහිටි මේ සුන්දර  කඳු මුදුන කරා ඇදෙන්නෝ එහි සුන්දරත්වය අමතක නොකරනු නියතය. මේ මගෙහි කිලෝ මීටර 37 හා 38 වැනි කිලෝමීටර කණු අතර පිහිටි පිටවල පතන ලෝ සුපතලය.

හුන්නස්ගිරිය හා ලූල්වත්ත ප්‍රවේශමාර්ගයෙන් පිවිසෙන්නෙකුට ඩීන්ස්ටන් සංරක්ෂණ මධ්‍යස්ථානයට පිවිසිය හැකිය. එය දෝතළුගල දක්වා ගමන් කරන්නෙකුට නවාතැන්ගන්නට ද සුදුසු ස්ථානයකි. ඩීන්ස්ටන් සිට  කිලෝමීටරයක දුරින් පිහිටා ඇති දළ බෑවුම දුම්බර වන පෙතේ කුඩා ලෝකාන්තය නිර්මාණය කරයි.  නක්ල්ස් හි නිරිත දෙසින් පිහිටා ඇති අළුගල්ලෙන සහ කුඹුක්ගොල්ල ගම්මානය ආශ්‍රිත මාර්ගයෙන් පිවිසිය හැකි වෙඩිලුණු ගුහාව හෙළ රජ දරුවන්ට වෙඩිලුණු සැපයූ ස්ථානයක් බව කියැවේ. තැනින් තැන ගිරි දුර්ග ඔස්සේ ගලා හැලෙන දිය දහරාවෝ මෙහි ඕනෑ තරම්ය.

දුම්බරට පිවිසෙන ඕනෑම අයෙකු ඩීන්ස්ටන්, රිවර්ස්ටන් හෝ ඉලුක්කුඹුර සංචාරක මධ්‍යස්ථානයන්ගෙන් ඇතුළුවීමට ප්‍රවේශපත් ලබාගත යුතුය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ  මේ වන බිම ආශ්‍රිතව පිහිටා ඇති සෑම සංචාරක මධ්‍යස්ථානයක ම ලැගුම්ගැනීමේ පහසුකම් පවතී. අවැසි නම් කඳවුරු බැඳ රැයක් ගෙවන්නටත් උදෑසන කඳුමුදුන් අතරින් වැටෙන හිරු එළියේ ආශ්වාදය විඳින්නටත් අවස්ථාව මෙහි ඇත.

මිහිමවගෙන් උරුම වූ මේ සොදුරු බිම්කඩත්, එහි සැගවී තිබෙන්නා වූ දේශීය සංස්කෘතියත් මිල කල නොහැකිය. උදෑසන හිරු එළියත්, සැන්දෑ යාමයේ මීදුමත් සමගින් මේ දුම්බර මිටියාවතේ සුන්දරත්වය විදින්නට නම් ඔබ එහි යා යුතුමය. කිමද යත් තෙලිතුඩින් මෙහි සුන්දරත්වය අකුරුකර ගන්නට නම් අපට නොහැකි වන නිසාවෙනි.

 2017 මාර්තු

බුද්ධික එස්. රත්නායක
ටෙක්ලා චාන්දනී 

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව