Skip to main content

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත


දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත




දකුණු  හා නැගෙනහිර දෙසින් මහවැලි නිම්නයෙන් ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද හුදකලා වූ මේ ශිඛර තොමෝ සියල්ලන්ගෙන්  ම සැවෙන්නට උත්සාහ කරන්නාක් මෙන් නිරන්තර ඝන මීදුම් සේලයට මුවාවී සිටිති. නීල, හරිත, රන්වන් සහ දුඹුරු පැහැයන්ගෙන් වර්ණවත්ව  එකිනෙකට යාව පැතිරපවත්නා මේ කඳුපන්ති තොමෝ ශිඛර කීපයකින් ම සමන්විත වෙයි. ඒ අතරින් ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දුම්බානගල, කළුපහන, වමාරපුගල, දෝතළුගල, පතනගල, තෙලබුගල හා ලකේගල සුපතලය. මේ ප්‍රදේශයටම ආවේණික වූ දැකුම්කළු සොබා සෞන්දර්යය, පුළුල්  දර්ශන පථයට හසුවන්නා වූ අයස්කාන්ත සුන්දරත්වය මෙන් ම මේ මිටියාවතේ කඳු නිම්න අතරින් ඇදී යන්නා වූ සුනිමල ජල ධාරාවෝ ද එහි යනෙන අයවලුන්ගේ නෙත් සිත් සොරාගන්නට සමත් වෙයි.

නිරන්තරව ඝන මීදුමින් වැසී  ඇති නිසාවෙන් දුම්බර යන නාමය පටබැඳි මේ කඳුපන්තිය විදේශිකයන් ට නම් නකල්ස් නම් විය. ඒ මානව හස්තයක් මිට මෙලවූ කල් හි ඇිලි පුරුක් දක්නට ලැබෙන ආකාරයෙන් මේ කඳුවැටියේ ශිඛර 5ක් දෘශ්‍යමාන වූ නිසාවෙනි. බටහිර බෑවුමෙ හි අධික ලෙස බට වර්ගයන්ගෙන් ගහන වූ බිම් ඇති නිසාවෙන් ඇතැම්හු මෙය “බටදඬු කන්ද” නමින් ද හඳුන්වනු ලබති.

ගිනිකොණ දිශාවේ සිට වයඹ දිශාවට හුන්නස්ගිරිය සිට ලග්ගල දක්වා සැතපුම් 18ක් පමණ දිගින් යුතු මේ කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශය හෙක්ටයාර 30,000 ක් පමණ වන බව කියැවේ. නකල්ස්, තෙත් හා වියළි කලාපයට මායිම්ව පිහිටා තිබීම හේතුකොටනෙ වනාන්තරය තුළ පුළුල් කාලගුණික පරාසයක් දැකිය හැකි අතර, කඳුවැටියේ නැගෙනහිර පෙදෙසේ වියළි කාලගුණයක් ද නිරිතදිග බෑවුමේ අතිශය තෙත් කාලගුණයක්  ද දැකිය හැකිය. එකිනෙකා පරයමින් නැගී සිටින්නා වූ මෙහි ශිඛරයන් මීටර 1900 ක් (අඩි 6000) පමණ උසකට විහිදෙයි. නිරිත හා ඊසානදිග මෝසම්වල වර්ෂාපතනයන්ගෙන් පෝෂණය වන හෙයින් මහවැලි ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ද ඉතා වැදගත් තැනක් ගනියි.

දුම්බරට පිවිසුම් මං කිහිපයකි. එකක් මහනුවර, මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය හන්දියෙන් මල්වත්ත හරහා හැරී මීමුරේ ඔස්සේ ද තවත් පසෙකින් කොළඹ, මාතලේ, රත්තොට හරහා ඉලුක්කුඹුර මාර්ගයෙන් ද කොළඹ - නුවර මාර්ගයේ තෙල්දෙණිය, රන්ගල බඹරැල්ල ඔස්සේ ද මෙහි පිවිසිය හැකිය. ඡායාරූ සිත්රෙකුට නම්, කැමරා ඇසෙහි සටහන් කරගන්නට සොඳුරු දසුන් බොහෝමයකි. කවියෙකුට, තෙලිතුඩින් සිත්තම් කරන්නට ඇවැසි වූ මනස්කාන්ත දසුන් මෙහි සුලබය. පාරිසරික විද්වතුන්ට නම් මෙහි අධ්‍යයනය කරන්නට දෑ බොහෝමයකි. සුවිශේෂී වූ ශාක හා සත්ත්ව විවිධත්වයකින් සමන්විත මේ භූමිය සොබාදහමින් අපට දායාද වූ මිහි පිට සුරලොවකි. මිහිලිය තුරුමල්  දමින් සුසැදි නෙක රටා මවන්නට සමත් වන්නේ, සුනිල දිය දහරින් ද නිකලැල්  වන පියසින් ද මේ මිටියාවතේ කිසිදු අඩුවක් නොමැති නිසාවෙනි. තව ද දුම්බර වේවැල්, මා වේවැල් හා තම්බොටු වැල් ආදී වූ වැල්වර්ගවලින්  ද ගහන වු පෙදෙසෙකි.

වනයේ සුන්දරත්වය වැඩි කරවමින් කඩා හැලෙන දියදහරා සහ ගංගා දෙපස පැතිර පවත්නා ගංගා ද්‍රෝණි වන තීරයන් ද තෙත් හා වියළි තෘණ බිම් ද නකල්ස් වන පෙතේ පාරිසරික වටිනාකම් මොනවට විදහා  පායි. මෙහි නැගෙනහිරින් උපත ලබන හීන් ගඟ, මීමුරේ ඔය, කයිකාවල ඔය සහ මහ ඔය ද උතුරු ප්‍රදේශයේ පිහිටි කළු ගඟ ද අවසන මහවැලි ගං කොමලිය වෙත එක්ව අත්වැල් බැඳ ගනී.  

උඩවැඩියා, වන රාජ, කඳුලැස්ස, බිනර , බෝවිටියා ආදී මල්වර්ග ද මීවන ද මෙහි දුලබ නොවෙත්. දිවියා, ගෝනා, වැලි මුවා, කොළ දිවියා, වල්  ඌරා වැනියවුන් ද ශ්‍රී ලංකාවට ආවේණික වු රිලවුන්, කොළ වඳුරන් ආදීන් ද දඬු ලේන්නු ද මෙය තම නිවස්න කොටගෙන වෙසෙති.  මේ ඉසව්ව පුරා තැනින් තැන රැඳී ඇති දියසීරාවෙන් පෝෂණය ලබන දියකඩිති අසල ඇතැම් විටෙක විමසිල්ලෙන් බැලූ කල් හි දියබල්ලන් ද දැකිය හැකිය.

දුම්බර මිටියාවතෙහි වෙසෙන්නා වූ ගැමියෝ ඔවුන්ට ම ආවේණික වූ කෘෂිකාර්මික රටාවකට හා ජීවන රටාවකට හැඩ ගැසුනෝ වෙති. ඔවුහු අව්‍යාජය. අහිංසකය. නගරයෙන් ඈත්ව සිටීම කරණකොටගෙන ඔවුහු තම සම්ප්‍රදාය, චාරිත්‍ර වාරිත්‍ර නොවෙනස්ව තම මතු පරපුරට දායාද කරන්නට සමත්ව සිටිති. පොල් අතු සෙවිලි කළ පියෙසිවලින් සහ ධාන්‍යභවබෝග ගබඩා කිරීමට ඇවැසි ගෘහයන්ගෙන් ද යුත්  සරල දිවි පැවැත්මක් ගෙවන්නා වූ මේ ගැමියෝ හේන් ගොවිතැනින් දිවි ගෙවන්නෝ වෙති. දුම්බර වන පෙත ඔවුන්ට අවැසි ඔසු, කිතුල් හකුරු සහ කිතුල් රා වැනි දෑ සපයා දෙන්නට සමත් වෙයි.

කඳුවැටියේ නැගෙනහිර බෑවුමට වෙන්නට කළුවර, බුරුත, මිල්ල වැනි වටිනා ශාකයන් දැකිය හැකිය. අතුපතර සැඟවී ගත් පක්ෂි සමූහයා මෙහි චමත්කාරය තවත් වැඩි කරන්නට සමත්ය. ඔවුන් අතර ලංකා රන් නළල් කොට්ටෝරුවා, හිස දුඹුරු දෙමලිච්චා, ගිරා මලිත්තා, ලංකා සැලළිහිණියා, කඳුකර වී කුරුල්ලා ආදී පක්ෂීන් ද දැකිය හැකිය.

දුම්බරට පිවිසෙන්නෙකුට නරඔන්න්නට නම් තැන් බොහෝමයකි. මාතලේ - ලග්ගල මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වම්පසට වනසේ පිහිටා ඇති කිරිමැටියා කන්ද හෙවත් රිවර්ස්ටන් එවැනි සුන්දර සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයකි. මුහුදු මට්ටමින් මීටර 1500 ක  පමණ උසින් පිහිටි මේ සුන්දර  කඳු මුදුන කරා ඇදෙන්නෝ එහි සුන්දරත්වය අමතක නොකරනු නියතය. මේ මගෙහි කිලෝ මීටර 37 හා 38 වැනි කිලෝමීටර කණු අතර පිහිටි පිටවල පතන ලෝ සුපතලය.

හුන්නස්ගිරිය හා ලූල්වත්ත ප්‍රවේශමාර්ගයෙන් පිවිසෙන්නෙකුට ඩීන්ස්ටන් සංරක්ෂණ මධ්‍යස්ථානයට පිවිසිය හැකිය. එය දෝතළුගල දක්වා ගමන් කරන්නෙකුට නවාතැන්ගන්නට ද සුදුසු ස්ථානයකි. ඩීන්ස්ටන් සිට  කිලෝමීටරයක දුරින් පිහිටා ඇති දළ බෑවුම දුම්බර වන පෙතේ කුඩා ලෝකාන්තය නිර්මාණය කරයි.  නක්ල්ස් හි නිරිත දෙසින් පිහිටා ඇති අළුගල්ලෙන සහ කුඹුක්ගොල්ල ගම්මානය ආශ්‍රිත මාර්ගයෙන් පිවිසිය හැකි වෙඩිලුණු ගුහාව හෙළ රජ දරුවන්ට වෙඩිලුණු සැපයූ ස්ථානයක් බව කියැවේ. තැනින් තැන ගිරි දුර්ග ඔස්සේ ගලා හැලෙන දිය දහරාවෝ මෙහි ඕනෑ තරම්ය.

දුම්බරට පිවිසෙන ඕනෑම අයෙකු ඩීන්ස්ටන්, රිවර්ස්ටන් හෝ ඉලුක්කුඹුර සංචාරක මධ්‍යස්ථානයන්ගෙන් ඇතුළුවීමට ප්‍රවේශපත් ලබාගත යුතුය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ  මේ වන බිම ආශ්‍රිතව පිහිටා ඇති සෑම සංචාරක මධ්‍යස්ථානයක ම ලැගුම්ගැනීමේ පහසුකම් පවතී. අවැසි නම් කඳවුරු බැඳ රැයක් ගෙවන්නටත් උදෑසන කඳුමුදුන් අතරින් වැටෙන හිරු එළියේ ආශ්වාදය විඳින්නටත් අවස්ථාව මෙහි ඇත.

මිහිමවගෙන් උරුම වූ මේ සොදුරු බිම්කඩත්, එහි සැගවී තිබෙන්නා වූ දේශීය සංස්කෘතියත් මිල කල නොහැකිය. උදෑසන හිරු එළියත්, සැන්දෑ යාමයේ මීදුමත් සමගින් මේ දුම්බර මිටියාවතේ සුන්දරත්වය විදින්නට නම් ඔබ එහි යා යුතුමය. කිමද යත් තෙලිතුඩින් මෙහි සුන්දරත්වය අකුරුකර ගන්නට නම් අපට නොහැකි වන නිසාවෙනි.

 2017 මාර්තු

බුද්ධික එස්. රත්නායක
ටෙක්ලා චාන්දනී 

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...