Skip to main content

සුන්දර බේරුවල......


සුන්දර බේරුවල......


ක්ෂිතිජඉමෙන් මෝදුවන රන්වන් හිරුගේ රැස් දහරින් නීලවර්ණ ජලතලය දිලෙයි. විටෙක සුදෝ සුදු දසන් පෙන්වා සිනාසෙන ඇය, තවත් විටෙක තම දෑත් දිගුකරමින් වැළදගන්නට උත්සාහ කරනුයේ තම හිමි සඳුට විය නොහැක්කේ ද? රහල් හිමිගේ සමුදුරු වර්ණනාවෝ යථාර්ථයක් බවට පත් කරමින් අප නෙතු අද්දර සිත්තම්වන මේ චමත්කාරජනක සිතුවම අකුරු කරන්නට නම් ඉමහත් වෙහෙසක් දැරිය යුතු බව හැගෙයි. පරිසරය එතරම් නෙත සිත වශී කරගන්නට සමත් වෙයි.

දිගු රැයක අවසානයේ තම සටනින් ජය ද පරාජය ද සම සිතින් දරා ගනිමින් නිවස්න කරා ඇදී එන්නා වූ සැමියාගේ රුව දකිනු රිසියෙන් පොල් රුප්පාවේ සෙවණකට වී බලා සිටින්නා වූ බිරින්දෑවරුන් ද බඩවියත සරිකරගනු වස් ජීවිකාව පිණිස කූඩා අතැතිව බලා සිටින්නා වූ ළදුන් ද මෙහි දැකිය හැකිය. කෙමෙන් කෙමෙන් හිරු දිනයක ඇරඹීම සනිටුහන් කරන විට දී සිහිල් මද පවනක පහස විඳිනු රිසියෙන් සුසුනිඳු වැලි තලාවේ වැතිර හිරු කිරණින් ගත සරසනු රිසියෙන් හෝ සිසිල් සමුදුරු දියණියගේ සෙනෙහසින් පිරි ජල තලයේ කිමිද ජලකෙළියෙ හි නිරතවනු රිසිව හෝ මෙහි යනෙනවුන් බොහෝමයකි. ඔවුහු මේ බිමට ආගන්තුකයෝ වෙති. එහෙත් මේ සොබා සිරිය දැක්මේ රිසියෙන් සත් සමුදුරු තරණය කරමින් මෙහි පැමිණියෝ වෙති. ඒ සඳහා මෙහි කිසිවෙකුටත් තහනමක් නැත. රිසි සේ කාලය ගෙවන්නට ඔවුනට අවැසි දෑ මෙහි අත නුදුරු මානයේ ඇත.

කොළඹ නගරයේ සිට කිලෝමීටර 55ක් පමණ දකුණු දෙසින් පිහිටි බේරුවල, දකුණු ලක වෙරළ තීරයේ කළුතර හා වාද්දුව පසුකරමින් ළගා විය යුතු අති රමණිය වෙරළ තීරයකට හිමිකම් කියන නගරයකි. කළුතර සිට බේරුවලට කිලෝමීටර 15 ක පමණ දුර ගෙවා පැමිණිය යුතුය. බේරුවල පසු කරමින් ගාලු පාර ඔස්සේ ඉදිරියට ඇදෙන්නෙකුට සංචාරකයින්ගේ ආකර්ෂණයට නතුව ඇති තවත් සුන්දර වෙරළ තීරයකට පිවිසිය හැක්කේ ය. ඒ බෙන්තොට යි. නොගැඹුරු වෙරළින් හා පුළුල් වූ වැලි තලාවන්ගෙන් ද හරිත වර්ණ වූ පොල් රුප්පාවෙන් ද හැඩ වූ මේ වෙරළ තීරයන් හි කාලය ගෙවා දමන්නට යුරෝපීයෝ සිහින දකිති. ඒ තරමට ම මේ දර්ශනීය වෙරළ තීරය සංචාරකයින් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.

මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ට අවැසි නවාතැන් පහසුකම් සපයන තරු පන්තියේ හෝටල් මේ ආසන්නයෙන් දැකිය හැකිය. ඉතා අවම මිල ගණන් හි සිට අධික මිල ගණන් දක්වා නවාතැන් පහසුකම් හා සේවා සපයන ස්ථානයන් මෙහි අපට හමු වයි.

ඉන්දියානු සමුදුරට අයත් වන විසල් ජල කද රන්වන් වූ වෙරළ තීරය කරා ඇදී එන්නේ එය අයිති කරගන්නට මෙනි. එහෙත් විඩාපත් ව ඔවුහු නැවත දියඹ වෙතම ඇදී යන්නා හ. විටෙක මුදු මොලොක් ස්වරූපෙයන් දෙපා පිස ගලා ගිය ද ඇතැම් විටෙක ඔවුහු රුදු ස්වරූපයට හැරී දෙපා දණවටක් දක්වා දියෙහි ගිල්වන්නට සමත් වෙයි.

රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන්නා වූ ධීවරයින් අව් වැසි පීඩා නොසලකාහරිමින් මෙහි නිරතව සිටින අයුරු දැක ගත හැකිය. එය මෙහි
පැමිණෙන සංචාරකයින්ට නවමු අත්දැකීමක් ගෙන දෙන්නට සමත් වෙයි. රිටක් මත සිටින ධීවරයින්ගේ රුව විවිධාකාරෙයන් සිත්තම් කරමින් හෝ දැව කැටයමට සිත්තම් කරමින් ජීවිකාව ගෙනයන්නෝ ද මෙහි වෙති.

ඉහළ පහළ යන රළ මත ජල කෙළියෙහි යෙදෙන්නට රිසියවුන් විවිධාකාර වූ අත්හදාබැලීම් සිදු කරන අයුරු බලා සිටීම ද ආශ්වාදජනක වූ අත්දැකීමකි. සුරතල් කුඩා දගකාරෙයකු දියමත ලිස්සා යෑමට තම පියා සමගින් රළ වෙත ඇදී යන අයුරු පෙනෙයි. ඔහු තවමත් ළමා වියෙහි වුව ද අභියෝග ප්‍රියකරන්නෙකු බවට දිලෙන නෙතු යුවළ සාක්ෂි දරයි. ඒක් පෙසකින් කුඩා පුවරුවක් මත සිටගනිමින් ජලය මත ලිස්සා යෑමට (wind surfing) උත්සාහ කරන ලොකු කුඩා සියල්ලෝම එම අභියෝගය ජය ගන්නට දරන උත්සාහය අගය කළ යුතුය. එපමණක් නොව ජලය මත ඇවිදින්නට කැමැති අයවලුන්ට ඒ සඳහා යාත්‍රාව ආධාරයෙන් ජලය මත ඇදී යන මෝටර් සයිකල් ආධාරයෙන් වේගයෙන් රළ පෙළ අභිබවා ඇදී යා හැකිය. කුඩා යාත්‍රා ආධාරයෙන් දිය මත ඇවිදීම (water skiing) හෝ හෙලිකොප්ටරයක ආධාරයෙන් දිය මත ඇවිදීම (jet skiing) හෝ අත්හදා
බලන්නට නම් ඔබ මෙහි පැමිණිය යුතුමය.

රන්වන් වෙරළ තීරය ඔස්සේ ඇවිද යද්දී දෙපා අබියස නවතින සොබා දහමේ තවත් අපූර්ව දායාදයකි: සිප්පි කටු. නෙක වර්ණයන්ගෙන් හා රටාවන්ගෙන් හැඩ වූ කවචයන් නැතහොත් සිප්පි කටු, කොරල් කැබලි ඇවිදිමින් සමරු සටහන් එකතු කරන්නෝ ද මෙහි දැකිය හැකිය. ලොකු කුඩා කිසිවෙකුටත් වයස් සීමාවක් නොමැතිව මේ සොදුරු වෙරළ තීරයේ ඇවිද යා හැකිය. රන්වන් පැහැගත් හිරු දියෙහි ගිලෙමින් පවසන්නේ දවස අවසන් වන බවයි. අහස් කුස පුරා ඇදෙන චමත්කාරජනක නෙක නෙක වර්ණ රටාවලින් සුන්දර වෙරළ තීරය හැඩවෙයි. එහෙත් මෙයින් නික්ම යන්නෝ නම් නොවෙති. ඔවුහු තවත් රැදී සිටින්නේ නිශායාමයේ සුන්දරත්වය විද ගනු රිසියෙනි. එහෙත් මතක පමණක් රැගෙන අපි මේ සොදුරු ඉසව්වට සමු දුන්නෙමු.

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

2017 ජනවාරි 

ඡායාරූපය : අන්තර්ජාලයෙනි 

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව