Skip to main content

සුන්දර බේරුවල......


සුන්දර බේරුවල......


ක්ෂිතිජඉමෙන් මෝදුවන රන්වන් හිරුගේ රැස් දහරින් නීලවර්ණ ජලතලය දිලෙයි. විටෙක සුදෝ සුදු දසන් පෙන්වා සිනාසෙන ඇය, තවත් විටෙක තම දෑත් දිගුකරමින් වැළදගන්නට උත්සාහ කරනුයේ තම හිමි සඳුට විය නොහැක්කේ ද? රහල් හිමිගේ සමුදුරු වර්ණනාවෝ යථාර්ථයක් බවට පත් කරමින් අප නෙතු අද්දර සිත්තම්වන මේ චමත්කාරජනක සිතුවම අකුරු කරන්නට නම් ඉමහත් වෙහෙසක් දැරිය යුතු බව හැගෙයි. පරිසරය එතරම් නෙත සිත වශී කරගන්නට සමත් වෙයි.

දිගු රැයක අවසානයේ තම සටනින් ජය ද පරාජය ද සම සිතින් දරා ගනිමින් නිවස්න කරා ඇදී එන්නා වූ සැමියාගේ රුව දකිනු රිසියෙන් පොල් රුප්පාවේ සෙවණකට වී බලා සිටින්නා වූ බිරින්දෑවරුන් ද බඩවියත සරිකරගනු වස් ජීවිකාව පිණිස කූඩා අතැතිව බලා සිටින්නා වූ ළදුන් ද මෙහි දැකිය හැකිය. කෙමෙන් කෙමෙන් හිරු දිනයක ඇරඹීම සනිටුහන් කරන විට දී සිහිල් මද පවනක පහස විඳිනු රිසියෙන් සුසුනිඳු වැලි තලාවේ වැතිර හිරු කිරණින් ගත සරසනු රිසියෙන් හෝ සිසිල් සමුදුරු දියණියගේ සෙනෙහසින් පිරි ජල තලයේ කිමිද ජලකෙළියෙ හි නිරතවනු රිසිව හෝ මෙහි යනෙනවුන් බොහෝමයකි. ඔවුහු මේ බිමට ආගන්තුකයෝ වෙති. එහෙත් මේ සොබා සිරිය දැක්මේ රිසියෙන් සත් සමුදුරු තරණය කරමින් මෙහි පැමිණියෝ වෙති. ඒ සඳහා මෙහි කිසිවෙකුටත් තහනමක් නැත. රිසි සේ කාලය ගෙවන්නට ඔවුනට අවැසි දෑ මෙහි අත නුදුරු මානයේ ඇත.

කොළඹ නගරයේ සිට කිලෝමීටර 55ක් පමණ දකුණු දෙසින් පිහිටි බේරුවල, දකුණු ලක වෙරළ තීරයේ කළුතර හා වාද්දුව පසුකරමින් ළගා විය යුතු අති රමණිය වෙරළ තීරයකට හිමිකම් කියන නගරයකි. කළුතර සිට බේරුවලට කිලෝමීටර 15 ක පමණ දුර ගෙවා පැමිණිය යුතුය. බේරුවල පසු කරමින් ගාලු පාර ඔස්සේ ඉදිරියට ඇදෙන්නෙකුට සංචාරකයින්ගේ ආකර්ෂණයට නතුව ඇති තවත් සුන්දර වෙරළ තීරයකට පිවිසිය හැක්කේ ය. ඒ බෙන්තොට යි. නොගැඹුරු වෙරළින් හා පුළුල් වූ වැලි තලාවන්ගෙන් ද හරිත වර්ණ වූ පොල් රුප්පාවෙන් ද හැඩ වූ මේ වෙරළ තීරයන් හි කාලය ගෙවා දමන්නට යුරෝපීයෝ සිහින දකිති. ඒ තරමට ම මේ දර්ශනීය වෙරළ තීරය සංචාරකයින් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.

මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ට අවැසි නවාතැන් පහසුකම් සපයන තරු පන්තියේ හෝටල් මේ ආසන්නයෙන් දැකිය හැකිය. ඉතා අවම මිල ගණන් හි සිට අධික මිල ගණන් දක්වා නවාතැන් පහසුකම් හා සේවා සපයන ස්ථානයන් මෙහි අපට හමු වයි.

ඉන්දියානු සමුදුරට අයත් වන විසල් ජල කද රන්වන් වූ වෙරළ තීරය කරා ඇදී එන්නේ එය අයිති කරගන්නට මෙනි. එහෙත් විඩාපත් ව ඔවුහු නැවත දියඹ වෙතම ඇදී යන්නා හ. විටෙක මුදු මොලොක් ස්වරූපෙයන් දෙපා පිස ගලා ගිය ද ඇතැම් විටෙක ඔවුහු රුදු ස්වරූපයට හැරී දෙපා දණවටක් දක්වා දියෙහි ගිල්වන්නට සමත් වෙයි.

රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන්නා වූ ධීවරයින් අව් වැසි පීඩා නොසලකාහරිමින් මෙහි නිරතව සිටින අයුරු දැක ගත හැකිය. එය මෙහි
පැමිණෙන සංචාරකයින්ට නවමු අත්දැකීමක් ගෙන දෙන්නට සමත් වෙයි. රිටක් මත සිටින ධීවරයින්ගේ රුව විවිධාකාරෙයන් සිත්තම් කරමින් හෝ දැව කැටයමට සිත්තම් කරමින් ජීවිකාව ගෙනයන්නෝ ද මෙහි වෙති.

ඉහළ පහළ යන රළ මත ජල කෙළියෙහි යෙදෙන්නට රිසියවුන් විවිධාකාර වූ අත්හදාබැලීම් සිදු කරන අයුරු බලා සිටීම ද ආශ්වාදජනක වූ අත්දැකීමකි. සුරතල් කුඩා දගකාරෙයකු දියමත ලිස්සා යෑමට තම පියා සමගින් රළ වෙත ඇදී යන අයුරු පෙනෙයි. ඔහු තවමත් ළමා වියෙහි වුව ද අභියෝග ප්‍රියකරන්නෙකු බවට දිලෙන නෙතු යුවළ සාක්ෂි දරයි. ඒක් පෙසකින් කුඩා පුවරුවක් මත සිටගනිමින් ජලය මත ලිස්සා යෑමට (wind surfing) උත්සාහ කරන ලොකු කුඩා සියල්ලෝම එම අභියෝගය ජය ගන්නට දරන උත්සාහය අගය කළ යුතුය. එපමණක් නොව ජලය මත ඇවිදින්නට කැමැති අයවලුන්ට ඒ සඳහා යාත්‍රාව ආධාරයෙන් ජලය මත ඇදී යන මෝටර් සයිකල් ආධාරයෙන් වේගයෙන් රළ පෙළ අභිබවා ඇදී යා හැකිය. කුඩා යාත්‍රා ආධාරයෙන් දිය මත ඇවිදීම (water skiing) හෝ හෙලිකොප්ටරයක ආධාරයෙන් දිය මත ඇවිදීම (jet skiing) හෝ අත්හදා
බලන්නට නම් ඔබ මෙහි පැමිණිය යුතුමය.

රන්වන් වෙරළ තීරය ඔස්සේ ඇවිද යද්දී දෙපා අබියස නවතින සොබා දහමේ තවත් අපූර්ව දායාදයකි: සිප්පි කටු. නෙක වර්ණයන්ගෙන් හා රටාවන්ගෙන් හැඩ වූ කවචයන් නැතහොත් සිප්පි කටු, කොරල් කැබලි ඇවිදිමින් සමරු සටහන් එකතු කරන්නෝ ද මෙහි දැකිය හැකිය. ලොකු කුඩා කිසිවෙකුටත් වයස් සීමාවක් නොමැතිව මේ සොදුරු වෙරළ තීරයේ ඇවිද යා හැකිය. රන්වන් පැහැගත් හිරු දියෙහි ගිලෙමින් පවසන්නේ දවස අවසන් වන බවයි. අහස් කුස පුරා ඇදෙන චමත්කාරජනක නෙක නෙක වර්ණ රටාවලින් සුන්දර වෙරළ තීරය හැඩවෙයි. එහෙත් මෙයින් නික්ම යන්නෝ නම් නොවෙති. ඔවුහු තවත් රැදී සිටින්නේ නිශායාමයේ සුන්දරත්වය විද ගනු රිසියෙනි. එහෙත් මතක පමණක් රැගෙන අපි මේ සොදුරු ඉසව්වට සමු දුන්නෙමු.

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

2017 ජනවාරි 

ඡායාරූපය : අන්තර්ජාලයෙනි 

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...