Skip to main content

ඉදුරාන ඇල්ල

ඉදුරාන ඇල්ල

පළාත -  සබරගමු පළාත
දිස්ත්‍රික්කය - කෑගල්ල දිස්ත්‍රික්කය
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - රුවන්වැල්ල
ගමන් මග
1)     කොළඹ - කඩුවෙල - අවිස්සාවේල්ල - රුවන්වැල්ල ඔස්සේ
2)     කොළඹ - වැලිවේරිය - වහරක - රුවන්වැල්ල ඔස්සේ පැය එකහමාරක පමණ ගමනිකින් මෙහි ළගා විය හැකිය.

තුරු ගොමුවලින් වැසීගත් නිහඩ බිමෙහි ගලන මේ ජල බිදු අපට කියා දෙන පාඩම් නම් බොහෝමයකි. ඉදුරාම ඇය තවත් මේ ලක් මව් සරසන දිය ඇලි කුමරියකි. දිය ඇලි රැජිණියන් අතරේ ඇය සුකොමලව පියවර මනින ඉදුරාන දිය ඇලි කුමරිය අහිංසක කුමරියක් යැයි මට සිතෙයි. වන අරණ අතර ඈ නිහඩවම සක්මන් කරන්නේ තනිකමට ගස් කොළ සතා සිව්පාවුන් මෙන්ම කුරුඵ කොබෙයියන්ගේ ද ආදර බර වදන්වලට සවන් දෙමිනි. මිහිකත හමුවේ සරතැස නිවන්නට  ඉසව් සොයා යන ගමනේ දී ඇය අප විඩා නිවන්නට සමත් වූවාය.

කිසිදු කලෙක කිසිවෙකුටත් ‍නොදෙවැනි හැඩි දැඩි තම ස්වාමියාගේ සරතැස නිවන සෙනෙහෙබර බිරියක මෙන් ඇය ගල් කුළ වසා ගනිමින් තම සෙනෙහස පතුරවන සෙයකි. ඇගේ ඒ සෙනෙහස අන් අයට දෙනු නොකැමති හෙයින්දෝ මේ ගල් කුළ ඉතා රළු ලෙසින් නැගී සිටින්නේය. විඩාපත්වන නිසාවෙන් දෝ ‍ඇය ඇතැම් තැනක දී සුසිනිදු සුදෝ සුදු පෙණ පිඩු නංවන්නී එහෙත් කිසිදු විලාපයක් නම් නොනගන්නීය. ජීවන රිද්මයට අවනත වන්නී, ඒ ඇයමය. ඒ නිසාවෙන් ම ගලා යන මේ ජල තලයේ රිද්මය දෙසවන් විඩා නිවන්නට සමත් වන සංගීතයකි. මන්ද මාරුතයේ රිද්මයත් මේ ජල බිදු ගැටෙන රිද්මයත් අප සිත්සතන් ශාන්ත බවින් පුරවන්නට සමත් වෙයි. නිහඩවම තම අවට සහෘදයන්ගේ මෙන්ම කාලයාගේ ද සියලු වෙනස්වීම් දරාගනිමින් ඇය සක්මනෙහි යෙදෙන්නීය. ඒ දෙස බලා සිටින අපට ඇතැම් විටෙක ඇය රුදු යැයි හැගෙතත් ඒ රුදුබවට වැසීගත් සෙනෙහස අමිල බව පිළිගත යුතුමය.

නීල වර්ණ තුරු පෙළින් ඇය තම විඩාබර ගමනෙහි නවාතැන් පොළවල් තනන්නීය. ඒ අප වැනි මගීන්ට දිය දෝතකින් සප්පායම් වනු පිණිසමය. විඩාපත් කුරුළු පියාපත් තෙමාලමින් කුඩා ගල් කුළු අතරින් ගලා යන මේ නදී තොමෝ තම ගමන් මග අවුරා සිටින්නවුන් මග හැර යන්නීය. ස්වාමියා ඇය රැක ගන්නට උත්සාහ කරන්නාක් මෙන් පෙනී යන්නේ ඇගේ ගමන් මගේ වේගවත් බව අවම කරන්නට ඔහු ඇතැම් විටෙක උත්සාහ ගන්නා බැවිනි. ඒ ඇයට අනතුරක් වේ දෝ යන බියෙන් විය හැකිය.

ගලා යන සැඩ පහර මෙන්ම නිහඩව පියවර තබන කුඩා දිය බිදු ද සිත්තම් කරන මේ අපූර්ව සිතුවම් මතකයට එක් වන්නට ඉඩ හැරිය යුතුමය. ඇතැම් විටෙක ඇය කැටයම් ශිල්පිනියක බවට පත්ව ඇති අයුරු මේ දොළ පහරේ උඩුගං බලා යන අතරේ අපට පසක් විය. ඇතැම් විටෙක ඇය කෙළිලොල් බවින් පිරුණු දගකාරියගේ හැඩ මවා පාන්නී තවත් විටෙක උවැසියකගේ විලාසය ගන්නීය. ලක් පොළෝ තලයේ ඇගේ ලාලිත්‍ය සටහන් කරන්නට සමත් වී ඇති අයුරු නම් දෑස් අදහා ගත නොහැක්කේය. මේ කුමරියගේ මතක රැගෙන අපි පියවර මනින්නෙමු. ඇය තවත් අප වැනි විඩාබර වූවන්ගේ නෙත් සිත් පැහැරගනිමින් තම මගෙහි සක්මන් කරනු  නිසැකය.

2015 ජූලි 

බුද්ධික එස්. රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්...