Skip to main content

ගංගාරාමය

සිත්සතන් සනහාලන වැව්තෙරේ පින්බිම - ගංගාරාමය

පළාත                : බස්නාහිර

දිස්ත්‍රික්කය         : කොළඹ

ගමන් මග: 

1)     කොළඹ ‍කොටුව - යෝර්ක් වීදිය - ගාලු පාර - ශ්‍රී උත්තරානන්ද මාවත - නවම් මාවත - සර් ජේම්ස් පීරිස් මාවත - ශ්‍රී ජිනරතන මාවත (කි‍ලෝමීටර 5ක් පමණ දුරකින් යුතු වන අතර විනාඩි 12කින් පමණ ළගාවිය හැකිය)

2) කොළඹ කොටුව - යෝර්ක් වීදිය - සර් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවත (ඒ 2 මාර්ගය ඔස්සේ) - ගංගාරාමයේ සීමා මාලකය පසුකර - ශ්‍රී ජිනරතන මාවත

3)     කටුනායක අන්තර්ජාතික ගුවන් තොටු‍පළේ සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය - ගාලු පාර - නවම් මාවත (කිලෝමීටර 34ක් පමණ දුරකින් යුතු වන අතර පැයක පමණ කාලයක් ගත වේ)


උදෑසන වුවද ඝෝෂාකාරී වාහන වල මෙන්ම අති තියුණු තරගකාරී ජීවන රටාවකට හිමිකම් කියන කොළඹ නගර මධ්‍යයයේ අහස සිඹින ගොඩනැගිලි සමුහයකි. නගරයට සුන්දරත්වයක් එක් කරමින් දිය රැළි නංවන බේරේ වැව් ඉස්මත්තේ පිහිටි මේ පූජනීය බිම් කඩ දෙස් විදෙස් සංචාරකයන්ගේත්, ලංකාවේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් මෙන්ම අනාගතය ගැන සිහින මවන යෞවන  යෞවනියන්ගේත් වන්දනාවට පාත්‍ර වන පුණ්‍ය භූමියකි. කලබලකාරී නාගරික පරිසරයක සිත්සතන් සනහාලන මේ බෞද්ධ සිද්ධස්ථානය සියවසකටත් එහා ගිය ඉතිහාසයකට නෑකම් කියයි. හිමිදිරි උදෑසන මෙන්ම හිරු ගිනියම් වන දහවල ද හාත්පස විනිවිද යන වෛවර්ණ විදුලි බුබුළින් අලංකාර රැයෙහි ද ඒ පහන් බව නොඅඩුවම විඳගන්නට හැකිවීම විශ්මය දනවන සුළුය.

විදේශීයන්ගේ ආගමනයෙහි ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය වන බේරේ වැවේ එක් ඉමක දහනම වන සියවසේ මුල් භාගයේදී කුඩා ආරාමයක් නිර්මාණය වන්නේ එකල ප්‍රසිද්ධ නාවුක වෙළෙන්දෙකු වූ දොන් බැස්ටියන් මුදලි නැමැත්තාගේ ධන පරිත්‍යාගයෙනි. මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට පරිත්‍යාග කරනු වස් තැනෙන මේ විහාරස්ථානය චෛත්‍ය, මකර තොරණ, ප්‍රවිශ්ඨයෙහි වන සදකඩ පහන හා අනුරපුර ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයකින් ද තෙමහල් ගොඩනැගිල්ලකින් හා විහාරස්ථානය වටා වැටකින්ද සමන්විතව ශාසනයට පූජා කෙරුණු බව කියැවේ. මුල්කාලයේදී ගංගාරාම විහාරස්ථානයට යා වූ පුළුල් බේරේ වැව අද වන විට වපසරියෙන් කුඩා වී ඇත. අතොරක් නැතිව එහා මෙහා දිවෙන නොනිදන නගරයේ මංමාවත් අතීතයේදී යටපත් කරගෙන සිටියේ බේරේ වැව මධ්‍යයේ රැළි නැගෙන ජල කඳ මගිනි. කාලය විසින් මේ භූ දර්ශනය වෙනස්කර ඇති බවට සාක්ෂි දරන්නේ කුඩා බේරේ වැව හා මහා බේරේ වැව ලෙසින් කොටස් දෙකකින් එය සමන්විත වන නිසාවෙනි. සර් ජේම්ස් පීරිස් මාවතට මායිම් වන කුඩා බේරේ වැවේ එක් ඉමක නිර්මාණය වී ඇති සීමා මාලකය ගංගාරාම විහාරයේ සුවිශේෂි අංගයකි. ඝෝෂාකාරී මේ සුවිසල් කොළොම් පුරයේ අති රමණීය මේ විහාරස්ථානය වසර දෙදහසකට එහා ගිය අතීතයකට නෑකම් කියන සුන්දර පුදබිමකි.

අක්කර තුනක පමණ වපසරියකින් යුක්ත වන ගංගාරාම විහාරස්ථානයේ පිවිසුමෙහි දොරටුව දෙපස රන්  ආලේපිත බුද්ධ ප්‍රතිමා දෙකකි. ඒ අසළම සිංහ රූප දෙකක්ද වෙයි. මෙහි කැටයමින් අලංකෘත සඳකඩපහන අනුරාධපුර සම්ප්‍රදායට අනුව විහාරස්ථානය ආරම්භයේදී තැනූවක් ලෙස සැල‍කෙයි. එහි එක් පසෙක දක්නට ලැබෙන 1936 වර්ෂයේ නිෂ්පාදිත එක්ස් කාණ්ඩයේ පැරණි බෙන්ස් රථය ලේක්හවුස් ආයතනයේ සමාරම්භය සනිටුහන් කළ ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන් විසින් පරිහරණය කළ එකක් බව කියැවේ.

නීලවර්ණ වර්ණාලේපිත පියස්සකින් හා දැවයෙන් කළ නුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය ගෘහය මේ භූමියෙහි ඇති පෞරාණික ගොඩනැගිල්ලකි. එයට පසෙකින් ඇති ගෘහය වාමන රූප වලින් සමන්විත පාදමකින් සමන්විතය. නොයෙකුත් බොදු සම්ප්‍රදායන්ට අයත්වන අසාහාය නිර්මාණයන් එක්තැන් කරන ලද එහි ශෛලමය, දැවමය සහ ලෝහමය බුද්ධ ප්‍රතිමා, බෝරෝ බුදුර් ආකෘතියට සමානකම් ඇති ප්‍රතිමා පෙරහැර, යාපහුව සම්ප්‍රදායට අයත් වන සිංහ ප්‍රතිමා, ථෙරවාදී, මහායන හා වජ්‍රායන ආදී සම්ප්‍රදායන්ට අයත් බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා ආදිය මිල කළ නොහැකි වටිනාකමක් එක් කරයි.

කෞතුකාගාරය තුළ විවිධ අවස්ථාවන්හිදී මෙරටට පරිත්‍යාග වශයෙන් ලැබුණා වූ නිල්මැණික් වර්ගයන් හා විවිධ වර්ගයේ මැණික් වර්ගද ඇත්දළ, රන්වන් පැහැගත් ගජමුතු, දක්ෂිණාවෘත සංඛ  ආදී වූ මිල කළ නොහැකි සිහිවටනද දැක ගත හැකි වෙයි.

විහාරස්ථනයට අයත්වන කෞතුකාගාරය තුළ බුරුම, සියම්, ලංකා ත්‍රිපිටක ගුන්ථ හා පැරැණි පුස්කොළ පොත් රැසකි. “එංගලන්‍තයේ පාලි කියවීම් සමාජ‍ය”  (England Pali Text Society) විසින් ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථද රන් ආලේපිත කිලෝ 4 ½ ක් පමණ වන “විසිවන සියවසේ ශ්‍රී ලංකාව” (Twentieth Century Impression of Ceylon)  නැමැති විශේෂ ග්‍රන්ථයද මෙහි දැකිය හැකි සුවිශේෂි පුස්තකයන්  වෙයි.

ධාතු මන්දිරය තුළ විවිධ කාලපරාසයන්හිදී ගිහි පැවිදි දෙපිරිසගෙන් හා විදේශයන්හි නිලදරුවන්ගෙන් පරිත්‍යාගයන් ලෙස ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටියි. මෙහි සීවලි මහරහතන් වහන්සේගේ ධාතූන් ඇතුලුව තවත් රහතන් වහන්සේලාගේ ධාතූන්ද වැඩ සිටියි.

‍‍‍ඓතිහාසික ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ අංකුරයකින් රෝපණය කළ බෝධි වෘක්ෂය වටා රන් වැටකි. අපල උපද්‍රව දුරුවනු වස් එල්ලා ඇති කොඩි වැල් වලින් මෙන්ම බොදු කොඩි වැල් ‍වලින්ද එහි අතුපතර ගැවසී ඇත්තේය. පසෙකින් ඇති චෛත්‍ය වටාද විවිධාකාර ප්‍රමාණයන්ගෙන් හා සම්ප්‍රදායන්ට අයත් වන බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකගත හැකි වෙයි. ආරම්භයේදී මෙම චෛත්‍ය රියන් තිහක උසකින් යුක්තව නිර්මාණය කරන ලද බව කියැවේ.

සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතියට හැඩගැසුණා වූ විහාරාරාම වලින් හාත්පසින් වෙනස්ම වූ විහාරස්ථානයක් වන මෙහි විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරමින් තැනූ ගෘහ නිර්මාණ දැකිය හැකි අතරම මුල්ම යුගයේ නිර්මාණය වූ ගොඩනැගිලි මහනුවර සම්ප්‍රදායට නිර්මාණය කරන ලද ඒවා බව විචාරක මතයයි.

ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් විහාරයේ බුද්ධ ප්‍රතිමා හා චෛත්‍ය නිර්මාණ ආකෘතියට සමාන වන අයුරින් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ හා චෛත්‍ය අනූරූ වලින් සමන්විත වන පීඨිකාවලින් යුතු මෙම මණ්ඩපය මහායාන බෞද්ධ සම්ප්‍රදායට නෑකම් කියන විශිෂ්ට ගණයේ නිර්මාණයක් වන අතර එය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා සුවිශේෂී ස්ථානයකි.

ගංගාරාමයට අයත් සීමා මාලකය මෙහි අපූර්වත්වයෙන් අනූන වන සුවිශේෂී නිර්මාණයක් වන්නේය. මෙම සීමා මාලකය සියවසක් පමණ වූ ඉතිහාසයකට උරුමකම් කියයි. සර් ජේම්ස් පීරිස් මාවතට යා වෙන කුඩා බේරේ වැව මධ්‍යයේ ඉදිවී ඇති මෙහි මුල්කාලින සීමා මාලකය ඉදිවන්නේ ලී කණු මතය. එය 1959 වසරේදී කඩා වැටීම හේතුවෙන් නව සීමා මාලකයක් 1979 වසරේදී නිර්මාණය කර ඇත. එය නිර්මාණය කර ඇත්තේ ආසියාවේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රිබාවාගේ සැලැස්මකට අනුවය. මේ සඳහා මුස්ලිම් ජාතික මුසාජි නම් යුවළ ධනය පරිත්‍යාග කරනුයේ ඔවුන්ගේ පුතු සිහිපත් වීම පිණිස වීම ද විශේෂත්වයකි. පුරාණ විහාරරාම සම්ප්‍රදාය හා මුහු වූ නවමු ආකෘතියකින් සුසැදි ගංගාරාම සීමා මාලකය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථානයකි. දැවයෙන් කරන ලද පීඨිකාවක් මත ඇති සීමා මාලකය වටා හිදි බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් යුක්ත වැටක් නිර්මාණය කර ඇත. එහි වම් පස පීඨිකාවේ බෝධියක් හා කුඩා චෛත්‍යයකින් ද දැකිය හැකිය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ වී වසර කිහිපයක් ගත වෙද්දී එහි අරුණාලෝකය ගංගාරාමය වෙතද පතිත වීමට පටන් ගන්නා අතරම ඒ හා සමගාමීව 1890 දී ආරම්භ වන ජිනාලංකාර මුද්‍රණාලය මගින් භික්ෂු අධ්‍යාපනයට මෙන්ම ගිහි සමාජ යහ පැවැත්මට අවැසි සිංහල, පාලි හා සංස්කෘත පුස්තකයන්ද පන්සිය පනස් ජාතක පොතද මුද්‍රණය කරන ලදී. ඒ සදහා භාවිත කරන ලද මුද්‍රණ යන්ත්‍ර ගංගාරාම කෞතුකාගාරයේදී අපට දැකගත හැකිවෙයි. 1954 දී ආරම්භ වන ශ්‍රී  ඥානේශ්වර පිරිවෙනහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙනුවෙන් අධ්‍යාපන වරම් ලබා දීම ආරම්භ කෙරෙනුයේ කිසිදු මුදලක් අයකිරීමකින් තොරවය.

කම්මල් වැඩ වෙනුවෙන් තරුණයන් තිදෙනෙකුගෙන් ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වර්තමානයේ ඩිජිටල් අධිතාක්ෂණයේ දැනුම සොයා යන යෞවන යෞවනියන් වෙනුවෙන් තාක්ෂණික ඥානය ප්‍රදානය කෙරෙන පාඨමාලා රැසකින් සමන්විතව දැනුම බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ භික්ෂු උරුමයේ නෑකම සමගින් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය දෙවුන්දර ශ්‍රී ජිනරතන නා හිමි ප්‍රමුඛ පරපුරෙන් පැවත එන ගංගාරාම භික්ෂු පරම්පරාවෙහි වත්මන් නියෝජනය ගල්බොඩ ඤාණිස්සර හිමියන් විසින් දරනු ලබයි. උන්වහන්සේ කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙසිනි.

1979 වසරේදී ආරම්භ කරන ලද ගංගාරාම පෙරහැර මංගල්‍යය එතැන් පටන් සෑම වසරකම පෙබරවාරි මාසයේදී පැවැත්වෙයි. අලිඇතුන් පනහකට අධික සංඛ්‍යාවකින් හා විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විත වන ගංගාරා‍මයේ නවම් මහ පෙරහැර විදෙස් සංචාරකයන් ආකර්ශනයට ලක්වන සුවිශේෂී සංස්කෘතික අංගයකි.

විවිධ බොදු සම්ප්‍රදායන්ගේ කලාගාරයක්‍ ලෙසින්ද ශාසන ඉතිහාසයේ අධ්‍යයන කේන්ද්‍රයක් ලෙසින්ද සමන්විත මේ බොදු බිම හුදෙක් විහාරස්ථානයක් පමණක් නොව ධර්ම ශාස්ත්‍රීය තාක්ෂණික ‍ශාසන සමාජ සේවාවන් රැසක් ලබා දෙන කෙම් බිමක් ලෙසින් හැදින්වීම නිවැරදිය.

2014 පෙබරවාරි 

බුද්ධික එස්. රත්නායක

ටෙක්ලා චාන්දනී

 

 

 

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...