Skip to main content

මුතුරාජවෙල තෙත්බිම

 රජුට මුතුවැනි සහල් දුන් - මුතුරාජවෙල 

පළාත - බස්නාහිර

දිස්ත්‍රික්කය - ගම්පහ

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ - ජා ඇළ, වත්තල, මීගමුව, කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතරකට අයත්ය

පිහිටීම - උතුරින් මීගමුව කලපුවටත්, දකුණින් කැළණි ග හා හැඳල ප්‍රදේශයටත්, බටහිරන් උස්වැටකෙයියාව හා පමුණුගම වෙරළ තීරයටත්, නැගෙනහිරින් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයටත් මායිම්ව පිහිටා ඇත.

ගමන් මග -

1) කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ දෙල්තුර - ජා ඇළ පාර - පමුණුගම මාවත - බෝපිටිය - වැලිකැටිය - මුතුරාජවෙල පාරිසරික කේන්ද්‍රයට පිවිසීමෙන් මුතුරාජවෙල අභය භූමියට පිවිසිය හැකිය ( කිලෝමීටර 24 ක් පමණ දුර හා විනාඩි 30 කින් පමණ ළගාවිය හැකිය)

2) මීගමුව නගරයේ සිට පෑලියගොඩ පුත්තලම අධිවේගී මාර්ගය - කටුනායක කොළඹ අධිවේගී මාර්ගය - පමුණුගම ඔස්සේ මුතුරාජවෙල පාරිසරික කේන්ද්‍රය ( කිලෝමිටර 16 ක් පමණ දුර වන අතර විනාඩි 20 කින් පමණ ළගා විය හැක)

3) හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ මීගමුව කළපුවට පිවිසීමෙන් ද මුතුරාජවෙල අභය භූමියට ඇතුලු විය හැකිය

අතීත රජදවස අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලෙස ස්ථාපිත වූ යුගයෙහිදී සශ්‍රීක කුඹුරු යායක් ලෙසින් ප්‍රසිද්ධියට පත්වූ මේ භූමිය සයවැනි  පැරකුම්බා රජ යුගයේදී “මුතු වැනි වූ සහල් රජුට ලබා දුන්” යන අරුත් ඇතිව “මුතුරාජවෙල” නම් වූ බව කියැවේ.

ඕලන්ද යුගයේදී ප්‍රවාහන කටයුතු සදහා භාවිත කිරීමට කැළණි ගගේ සිට මීගමුව දක්වා තැනුණු ඇළ මාර්ගය මේ තෙත් බිම ඔස්සේ සකස් කෙරුණු අතර ඒ ඔස්සේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒමෙන් කිවුල් දියවලින් මෙම බිම්කඩ වගාවට නුසුදුසු බිමක් බවට පරිවර්තනය වීමෙන් ගොවිතැන් කිරීම අත්හැරුණු අතර එය කලපු බිම හා යා වීමෙන් ස්වභාවික තෙත් බිමක් බවට පරිවර්තනය වූ බව කියැවේ.  ඉංග්‍රීසි පාලන සමයේදී මෙම ඇළ තවදුරටත් නවීකරණය කොට පුළුල් කෙරුණු අතර අද එය ප්‍රසිද්ධ වන්නේ “හැමිල්ටන් ඇළ” නමිනි. ඒ ඔස්සේ මුතුරාජවෙල අභය භූමියට පිවිසුම් මගක් නිර්මාණය වී තිබීමද විශේෂත්වයකි.

පරිසර විද්‍යාත්මක අර්ථ දැක්විමට අනුව තෙත් බිමක් යනු වසර පුරාම හෝ වසරේ යම් කාලයක් තුළ මිරිදිය , කරිදිය හෝ කිවුල් දිය රැදී පවතින හෝ ගලා යන ස්වාභාවිකව හෝ කෘත්‍රිමව නිර්මාණය වූ බිමකි. ඒ අතරින් සමුද්‍රාසන්න තෙත් බිම් පද්ධති වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මුතුරාජවෙල, ශ්‍රී ලංකාවේ ඇති සමුද්‍රීය පාරිසරික තෙත් බිම් අතර ජීවයෙන් පිරී ගිය ජෛව විවිධත්වයෙන් අනූන වූ මේ බිම්කඩ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වන මෙන්ම පරිසර වේදීන්ගේ ඉමහත් ‍ගෞරවාදරයට ලක්වන සුන්දරත්වයෙන් අනූන බිම්කඩකි.

1996 ඔක්තෝම්බර් 31 වැනි දින හෙක්ටයාර 1285ක් පමණ වන භූමි ප්‍රදේශයක් තුළ විහිදී ඇති මුතුරාජවෙල, අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 2009 අංක 22 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සංරක්ෂිත මෙම භූමිය ආසියානු තෙත් බිම් නාමාවලියේ 41 වැනි ස්ථානයේ සනිටුහන්ව ඇති අතර ජගත් තෙත් බිම් සංරක්ෂණය සදහා වූ සම්මුතිය වන රම්සා සම්මුතියෙන් සංරක්ෂිත තෙත් බිම් අතරට එක් වූ තෙත් බිමකි.

අගනුවර ආසන්න නාගරික කලාපයක පිහිටා ඇති මෙම බිම්කඩ තෙත් බිම් කලාපය, මීගමුව කලපුව හා දඩුගම් ඔය නමින් ප්‍රධාන කලාප තුනකට බෙදා දැක්විය හැකිය. වසරේ විවිධ කාලවලදී තෙත් බිමට ලවණ ජලයද සම්මිශ්‍රණය වීම නිසා මෙම පරිසර පද්ධතිය වඩා සංකීර්ණ එකක් බවට පත්වේ. විවිධ පද්ධති වලට අනුවර්තනය වන ජීවි විශේෂ රැසකින් හා ශාක විශේෂ රැසකින් සමන්විත වන මෙහි  වගුරු බිම්, තෘණබිම්, ලදුකැලෑ මෙන්ම  වගාව අත්හල බිම් වලින්ද යුතු විවිධ පරිසර පද්ධතීන් හා ඒ හා ආවේණික වූ පක්ෂින්, ජලජ සතුන්, ක්ෂිරපායීන් මෙන්ම කඩොලාන වලින් යුතුව පාරාදීසයක් නිර්මාණය කෙරෙයි.

කුල වර්ග හැටහයකට අයත් විවිධ ශාක විශේෂ එකසිය අනූ හතරක්ද මෙහි දැකිය හැකිය. සොබා දහමේ අපූර්ව දායාදයක් වන කඩොලාන ශාක අතර ශ්‍රී ලංකාවේ වාර්තා වන ශාක විශේෂ විසි දෙකක් අතරින් දහඅටක් මෙම තෙත් බිමෙහි දැකිය හැකිය. මුතුරාජවෙල දැකිය හැකි රිලවුන් කඩොලාන හා ජලාශ්‍රිත පරිසරයකට හුරුව දිවි ගෙවන්නන් වීම විශේෂත්වයකි.

ඉතා අලංකාර සමනලුන් විශේෂ 67ක් ද මුතුරාජවෙලින් වාර්තා වන අතර කූරන් විශේෂ 34ක් ද වාර්තා වී ඇත. මෙහිදී වාර්තා වන සමනල විශේෂ අතර The Taway coster,The Common Grass Yellow,The Common Rose, The Red Pierrot, The Blue Admiral ආදීන් දැක ගත හැකිය.

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ සමුද්‍රාසන්න ජලාශයන්හි පමණක් දිවි ගෙවන ගැට කිඹුලා මුතුරාජවෙල තෙත් බිමෙහි අමිල උරුමයකි. ලවණ ජලයේ ජීවත් වීමට හැකියාව ඇති ලෝකයේ ඉතා විශාලතම උරගයන් ලෙස සැලකෙන ගැට කිඹුලන් ඉතා වටිනා ස්වභාවික සම්පතකි. අතීතයේදී ඉතා මුතුරාජවෙල තෙත් බිමෙහි ගැට කිඹුලන් ගහනය අතින් ඉහළ මට්ටමක සිටි නමුදු අද වන විට ඔවුන් ඉතා විරල ස්ථානයකට පත්ව ඇත. මීට අමතරව කබරගොයා, තලගොයා, කටුස්සන්, හූනන් හා හිකනලුන් මෙන්ම සර්ප විශේෂ රැසක්ද මුතුරාජවෙල උරග විවිධත්වය ඉහළ නංවන බව කිව යුතුය. ඒ අතරින් ශ්‍රී ලංකාවේ හමුවන ඉතා දුර්ලභ සර්පයෙකු ලෙස හදුනාගෙන ඇති කඩොලාන දියබරියා ද මේ බිම වාසභූමිය කරගෙන සිටිම විශේෂත්වයකි.

මුතුරාජවෙල කුරුළු පාරාදීසයක් වන්නේ තම මවුරටවල ශීත කාලය උදාවූ විට මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් මෙන්ම දේශීය පක්ෂී විශේෂයන්ගේද තෝතැන්නක් වන බැවිනි. හිමිදිරි උදෑසන මෙන්ම හිරු බැස යන සැදෑ කාලයේදී ද මුතුරාජවෙල හා මීගමු කලපුව විහඟ පාරාදීසයක් බවට පත්වෙයි. කරවැල් කොකා, අළුකොකා, රත්යටිමල් කිරලා, ගොළු කිරලා, කුස ඇලි සයුරුකුස්සා, බමුණු පියකුස්සා, මල් පිළිහුඩුවා, මහා පිළිහුඩුවා, ලය සුදු මැදි පිළිහුඩුවා, පුංචි දියකාවා, නිල්පෙද බිගුහරයා, අටුවැහි ලිහිණියා හා කළුපිය ඉපල්පාවා වැනි පක්ෂින් ඒ අතර සුලබය. ශ්‍රී ලංකාවට පැමිණෙන දුර්ලභ සංක්‍රමණික පක්ෂියෙකු වන කළු හිසැති මැදි පිළිහුඩුවා ද මේ අතර දැකිය හැකිය. 

ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් පාරිසරික කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිම මුල්කොට ප්‍රවීණ සංගීතවේදීයෙකු වන කරුණාරත්න දිවුල්ගනේ ගැයූ පරිසර ගීතයක් ශ්‍රාවකයන් හමුවට පත්කොට ඇත්තේ පමුණුගම මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගිනි. ඒ දැනට බලවත් පාරිසරක ව්‍යසනයකට පත්වෙමින් තිබෙන මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආශ්‍රිත තෙත්බිම් පරිසර කලාපයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සදහා ජනතා ආකල්ප පිබිදවීම පිණිසය. මෙරට පාරිසරක කලාපයක් මුල්කොට නිර්මාණය වූ ගීතයකට මුල් වන ප්‍රථම තෙත්  බිම ලෙස මෙය ගීත සාහිත්‍ය ඉතිහාසයටද එක් වෙයි.

2014 පෙබරවාරි 

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව