Skip to main content

තුඩපත් අතීතයෙන් බිඳක්


තුඩපත් අතීතයෙන් බිඳක් 


පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - මාතලේ
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල
ගමන් මග - (ඒ 9 මාර්ගය) කොළඹ - මහනුවර - මාතලේ- දඹුල්ල - සීගිරිය - කුඹුක්කදන්වෙල

ඒ 9 මාර්ගයේ දඹුල්ල පසු කොට සීගිරය නගරයේ සිට කිලෝ මීටර 8ක් පමණ දුරින් එරවලගල කදුවැටිය පාමුල පිහිටා ඇති පැරණි නටඹුන් සහිත ගම්මානයකි. නිල්ල පිරුණු කෙත්වතු වලින් හා එළවළු කොරටු වලින් සැදුම්ලත් මේ සුන්දර ගම්මානයේ ඉතිහාස කතාව වළගම්බා රජ සමය දක්වා අතීතයට නෑකම් කියයි.

කුඹුක් ගසින් පිරී ගිය වනාන්තර වලින් ගහන වූ මේ ප්‍රදේශයේ තිබූ රූස්ස කුඹුක් ගස් “කුහරයක්” හෙවත් “වලකට” ඇද වැටීම හේතුවෙන් “කුඹුක් කදන් වැටුණු වල” පසුකාලීනව “කුඹුක්කදන්වෙල” බවට පත්වී තිබේ. මෙම ග්‍රාමයෙහි පිහිටා ඇති කළු දිය පොකුණ නමින් ප්‍රසිද්ධියට පත් මේ පුරාවිද්‍යාත්මක භූමියට නම ලැබී ඇත්තේ එහි ඇති කළු පාට මඩ වතුර පිරි පොකුණ නිසාවෙනි.

මෙම ග්‍රාමයෙහි මුල් උරුමකරුවන් වැදි ජනයා වන අතර පසු කාලීනව වළගම්බා රජු සමයේදී රජුට සතුරන්ගෙන් සැගවී සිටින්නට මෙන්ම රජ දරුවන්ගේ වස්තුව සගවා තබන්නට මේ ප්‍රදේශය උපයෝගී කරගත් බව පැවසෙයි. ඉංග්‍රිසි සමයේදී පනතපල්ලේ ඔය පත්තුවේ පිහිටි කුඹුක්කදන්වල නම් ග්‍රාමය උරුමකරුවන්ගෙන් බැහැර කොට රාජසන්තක කොටගත් බවත් මෙම ග්‍රාමය තුඩපතක් මගින් වෙදරාළ පරපුරට අයත්ව තිබූ නින්දගමක් බවද ඉතිහාස මූලාශ්‍රයන්හි සටහන්ව තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු කළුදිය පොකුණ ප්‍රදේශය අතීතයේදී භාවනානුයෝගීව වැඩ විසු භික්ෂුන්ගේ ආරාම සංකීර්ණයකින් යුක්ත වූ බවට සාක්ෂි මේ ප්‍රදේශය පුරා දැනුදු විසිර පවතිනු දැකිය හැකිය. වනගතව පවතින මේ භූමි භාගය පුරා සෙල්ලිපි, ලෙන්ලිපි සහිත කටාරම් කොටන ලද ලෙන් හා දාගැබක්, ගල්කණු හා සංඝාවාසයක්ද විහාරයක නටඹුන් ගණනාවක් ද දැකිය හැකිය. නව වැනි සියවසට අයත් සෙල්ලිපියක් මගින් මෙම විහාරය සද්ධාතිස්ස රජු (137-119) දවස ඉදි කෙරුණක් බව සදහන් කර ඇත. අග්ගබෝධි රජු විසින් මෙය වැඩිදියුණු කොට ඇති අතර ආරාම සංකීර්ණයට උපෝසථාගාරයක්ද ඉදි කෙරුණු බව කියැවේ. මේ ආසන්නයේ දැකිය හැකි කළුදිය පොකුණ හේතුවෙන් මෙම විහාර භූමියද කළු දිය පොකුණ විහාරය නමින් ප්‍රචලිතව ඇත.

සෝමපාල ජයවර්ධන මහතාගේ “හෙළ උරුමය” කෘතියෙහි දැක්වෙන පරිදි දෙවැනි සේන රජතුමාගේ (853-887) ලිපියෙන් හා හතරවන සේන රජුගේ (954-956) ලිපියෙන්ද “දකිණිගිරි වෙහෙර” නමින් දැක්වෙන්නේ මෙම ස්ථානය බව  කියැවේ. සිගීරි කුරුටු ගී වලද “දකිණිගිරි වෙහෙර” පිළිබදව සදහන් වන අතර මහාවංශයෙහි 38 වැනි පරිච්ඡේදයට අනුව එම වෙහෙර සද්ධාතිස්ස රජු සමයේදී කරවන ලද බවත් ධාතුසේන රජ සමයේදී මෙම විහාරය නැවත පිළිසකර කරවා ඇති බවත් කියැවේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට අනුරාධපුර යුගයේ අවසානය දක්වා මෙම විහාරය පැවැති බව කියැවේ.

මෙහි ඇති ගිරි ලිපියකට අනුව කළුදිය පොකුණ විහාරස්ථානයේ වැඩ විසූ සංඝයාවහන්සේලාට දානය සපයා ඇත්තේ “දළතා” නැමැති අයෙකි. ඔහුට ඒ සහා රන් කළ විසිතුනක් රජතුමා විසින් දී තිබූ බව කියැවේ. මෙම විහාරය පබ්බත විහාර සම්ප්‍රදායට අනුව නිර්මාණය කෙරුණු එකක් බව සැලකෙයි. ආරාමයේ පැවැත්මට අදාළ නීති රීතිද මෙම ගිරි ලිපියෙහි සටහන් කොට තිබූ බව කියැවේ. අතීතයේ දී භාවනානුයෝගීව වැඩ වාසය කළ භික්ෂුන්වහන්සේලාගෙන් මෙම පින්බිම පිරී තිබෙන්නට ඇති වගට සාක්ෂි දරන සංඝාරාමයේ පිළිමගෙය, බෝධිඝරය, උපෝසථාගාරයද ඒ අසළ දැකගත හැකිය. මුරගල් මේ වන විට විනාශ වෙමින් පවතින අතර එහි ඇති කැටයම් ද අපැහැදිලිය. කටාරම් කෙටු ගල් ලෙන් මෙම භූමියෙහි විසිර පවතී. මේ හැරුණු කොට ගලින් නෙලන ද පිළිමයක ශිර්ෂය, පෙන ගොබ නවයකින් යුතු නාගරූප, දේවරූප, බහිරව රූප මෙන්ම බෙහෙත් ඇඹරීම සදහා භාවිත කරන ලද ගෙවී ගිය බෙහෙත් ගලක් ද නටඹුන් අතර දැකගත හැකිවෙයි. නටඹුන්ව ඇති චෛත්‍ය ඉදිකොට ඇත්තේ වේදිකාවක් මත බව විමසිලිමත්ව බලන්නෙකුට දැකගත  හැකිය.

නටඹුන් වූ චෛත්‍ය පසුකර ඉහළට වන්නට දැකගත හැකි වන්නේ තරණයට සුදුසු කදුගැටයකි. වියළි කලාපීය පරිසර පද්ධතියකට අසිරිය විදින්නට රිසි පරිසර හිතකාමී සංචරණයෙහි යෙදෙන්නන් මෙහි පා ගමන්හි යෙදෙන්නේ ශ්‍රී ලංකාවේ පිටිසර ගැමි පරිසරයක සුන්දරත්වය විදින්නටත් හැකියාව ඇති බැවිනි. නකල්ස් කදු වැටියේ උතුරු සීමා මායිම් කරා මෙම කළුදිය පොකුණ භූමි භාගය විසිර පවතී. විසල් ගල් කුළු වලින් හා කුඹුක් සෙවණින් සැදී ගිය මෙහි ඇති ජල තටාකය සිත් ඇදගන්නා සුළුය.ඇතැම් විටෙක මෙහි රංගනයේ යෙදෙන මොනරුන් ද දැකිය හැකි වෙයි. අක්කර එකසිය අසූහතක පමණ භූමි භාගයක් පුරා විසිර පවතින මෙම භූමියෙහි තැනින් තැන විසිර පවති ගල් ගුහා රැසක් ද දැකගත හැකිය. ගලින් වටවූ පොකුණු දෙකකින් සමන්විත වූ භූමියෙහි වර්තමානයේදී දැකිය හැකි වන්නේ වල් වැදුණු හා මඩින් පිරීගිය පොකුණක් හා යන්තමින් දිය පිරිගිය පොකුණක් වෙයි.

සංචාරකයින් අතර පුරාවිදු බිමක් ලෙසින් ප්‍රචලිතව පැවැතියද , සමනළ හා කුරුලු නරඹන්නන්ට මෙම බිම කදිම තෝතැන්නක් ද වෙයි. කදු මුදුනට පැමිණි විට එක් පසෙකින් සුන්දර කණ්ඩලම වැව දැකගත හැකිය. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය එහෙත් සොදුරු දසුන් මවන කළුදිය පොකුණ පුරාවිදු බිමක් පමණක් නොව අපුර්ව පාරිසරික සංචරණ කලාපයක් වන්නේ, මාතලේ පුරවරයට අගය එක්කරමිනි.

2014 මාර්තු

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්...