තුඩපත් අතීතයෙන් බිඳක්
පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - මාතලේ
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල
ගමන් මග - (ඒ 9 මාර්ගය) කොළඹ - මහනුවර - මාතලේ- දඹුල්ල -
සීගිරිය - කුඹුක්කදන්වෙල
ඒ 9 මාර්ගයේ දඹුල්ල පසු කොට සීගිරය නගරයේ සිට කිලෝ මීටර
8ක් පමණ දුරින් එරවලගල කදුවැටිය පාමුල පිහිටා ඇති පැරණි නටඹුන් සහිත ගම්මානයකි.
නිල්ල පිරුණු කෙත්වතු වලින් හා එළවළු කොරටු වලින් සැදුම්ලත් මේ සුන්දර ගම්මානයේ
ඉතිහාස කතාව වළගම්බා රජ සමය දක්වා අතීතයට නෑකම් කියයි.
කුඹුක් ගසින් පිරී ගිය වනාන්තර වලින් ගහන වූ මේ ප්‍රදේශයේ
තිබූ රූස්ස කුඹුක් ගස් “කුහරයක්” හෙවත් “වලකට” ඇද වැටීම හේතුවෙන් “කුඹුක් කදන්
වැටුණු වල” පසුකාලීනව “කුඹුක්කදන්වෙල” බවට පත්වී තිබේ. මෙම ග්‍රාමයෙහි පිහිටා ඇති
කළු දිය පොකුණ නමින් ප්‍රසිද්ධියට පත් මේ පුරාවිද්‍යාත්මක භූමියට නම ලැබී ඇත්තේ
එහි ඇති කළු පාට මඩ වතුර පිරි පොකුණ නිසාවෙනි.
මෙම ග්‍රාමයෙහි මුල් උරුමකරුවන් වැදි ජනයා වන අතර පසු
කාලීනව වළගම්බා රජු සමයේදී රජුට සතුරන්ගෙන් සැගවී සිටින්නට මෙන්ම රජ දරුවන්ගේ
වස්තුව සගවා තබන්නට මේ ප්‍රදේශය උපයෝගී කරගත් බව පැවසෙයි. ඉංග්‍රිසි සමයේදී
පනතපල්ලේ ඔය පත්තුවේ පිහිටි කුඹුක්කදන්වල නම් ග්‍රාමය උරුමකරුවන්ගෙන් බැහැර කොට
රාජසන්තක කොටගත් බවත් මෙම ග්‍රාමය තුඩපතක් මගින් වෙදරාළ පරපුරට අයත්ව තිබූ
නින්දගමක් බවද ඉතිහාස මූලාශ්‍රයන්හි සටහන්ව තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු කළුදිය පොකුණ ප්‍රදේශය
අතීතයේදී භාවනානුයෝගීව වැඩ විසු භික්ෂුන්ගේ ආරාම සංකීර්ණයකින් යුක්ත වූ බවට සාක්ෂි
මේ ප්‍රදේශය පුරා දැනුදු විසිර පවතිනු දැකිය හැකිය. වනගතව පවතින මේ භූමි භාගය පුරා
සෙල්ලිපි, ලෙන්ලිපි සහිත කටාරම් කොටන ලද ලෙන් හා දාගැබක්, ගල්කණු හා සංඝාවාසයක්ද
විහාරයක නටඹුන් ගණනාවක් ද දැකිය හැකිය. නව වැනි සියවසට අයත් සෙල්ලිපියක් මගින් මෙම
විහාරය සද්ධාතිස්ස රජු (137-119) දවස ඉදි කෙරුණක් බව සදහන් කර ඇත. අග්ගබෝධි රජු
විසින් මෙය වැඩිදියුණු කොට ඇති අතර ආරාම සංකීර්ණයට උපෝසථාගාරයක්ද ඉදි කෙරුණු බව
කියැවේ. මේ ආසන්නයේ දැකිය හැකි කළුදිය පොකුණ හේතුවෙන් මෙම විහාර භූමියද කළු දිය
පොකුණ විහාරය නමින් ප්‍රචලිතව ඇත.
සෝමපාල ජයවර්ධන මහතාගේ “හෙළ උරුමය” කෘතියෙහි දැක්වෙන
පරිදි දෙවැනි සේන රජතුමාගේ (853-887) ලිපියෙන් හා හතරවන සේන රජුගේ (954-956)
ලිපියෙන්ද “දකිණිගිරි වෙහෙර” නමින් දැක්වෙන්නේ මෙම ස්ථානය බව කියැවේ. සිගීරි කුරුටු ගී වලද “දකිණිගිරි
වෙහෙර” පිළිබදව සදහන් වන අතර මහාවංශයෙහි 38 වැනි පරිච්ඡේදයට අනුව එම වෙහෙර
සද්ධාතිස්ස රජු සමයේදී කරවන ලද බවත් ධාතුසේන රජ සමයේදී මෙම විහාරය නැවත පිළිසකර
කරවා ඇති බවත් කියැවේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට අනුරාධපුර යුගයේ අවසානය දක්වා
මෙම විහාරය පැවැති බව කියැවේ.
මෙහි ඇති ගිරි ලිපියකට අනුව කළුදිය පොකුණ විහාරස්ථානයේ
වැඩ විසූ සංඝයාවහන්සේලාට දානය සපයා ඇත්තේ “දළතා” නැමැති අයෙකි. ඔහුට ඒ සඳහා රන් කළ විසිතුනක් රජතුමා විසින් දී තිබූ බව කියැවේ. මෙම විහාරය පබ්බත
විහාර සම්ප්‍රදායට අනුව නිර්මාණය කෙරුණු එකක් බව සැලකෙයි. ආරාමයේ පැවැත්මට අදාළ
නීති රීතිද මෙම ගිරි ලිපියෙහි සටහන් කොට තිබූ බව කියැවේ. අතීතයේ දී භාවනානුයෝගීව
වැඩ වාසය කළ භික්ෂුන්වහන්සේලාගෙන් මෙම පින්බිම පිරී තිබෙන්නට ඇති වගට සාක්ෂි දරන
සංඝාරාමයේ පිළිමගෙය, බෝධිඝරය, උපෝසථාගාරයද ඒ අසළ දැකගත හැකිය. මුරගල් මේ වන විට
විනාශ වෙමින් පවතින අතර එහි ඇති කැටයම් ද අපැහැදිලිය. කටාරම් කෙටු ගල් ලෙන් මෙම
භූමියෙහි විසිර පවතී. මේ හැරුණු කොට ගලින් නෙලන ද පිළිමයක ශිර්ෂය, පෙන ගොබ නවයකින්
යුතු නාගරූප, දේවරූප, බහිරව රූප මෙන්ම බෙහෙත් ඇඹරීම සදහා භාවිත කරන ලද ගෙවී ගිය
බෙහෙත් ගලක් ද නටඹුන් අතර දැකගත හැකිවෙයි. නටඹුන්ව ඇති චෛත්‍ය ඉදිකොට ඇත්තේ
වේදිකාවක් මත බව විමසිලිමත්ව බලන්නෙකුට දැකගත
හැකිය.
නටඹුන් වූ චෛත්‍ය පසුකර ඉහළට වන්නට දැකගත හැකි වන්නේ
තරණයට සුදුසු කදුගැටයකි. වියළි කලාපීය පරිසර පද්ධතියකට අසිරිය විදින්නට රිසි පරිසර
හිතකාමී සංචරණයෙහි යෙදෙන්නන් මෙහි පා ගමන්හි යෙදෙන්නේ ශ්‍රී ලංකාවේ පිටිසර ගැමි
පරිසරයක සුන්දරත්වය විදින්නටත් හැකියාව ඇති බැවිනි. නකල්ස් කදු වැටියේ උතුරු සීමා
මායිම් කරා මෙම කළුදිය පොකුණ භූමි භාගය විසිර පවතී. විසල් ගල් කුළු වලින් හා
කුඹුක් සෙවණින් සැදී ගිය මෙහි ඇති ජල තටාකය සිත් ඇදගන්නා සුළුය.ඇතැම් විටෙක මෙහි
රංගනයේ යෙදෙන මොනරුන් ද දැකිය හැකි වෙයි. අක්කර එකසිය අසූහතක පමණ භූමි භාගයක් පුරා
විසිර පවතින මෙම භූමියෙහි තැනින් තැන විසිර පවති ගල් ගුහා රැසක් ද දැකගත හැකිය.
ගලින් වටවූ පොකුණු දෙකකින් සමන්විත වූ භූමියෙහි වර්තමානයේදී දැකිය හැකි වන්නේ වල්
වැදුණු හා මඩින් පිරීගිය පොකුණක් හා යන්තමින් දිය පිරිගිය පොකුණක් වෙයි.
සංචාරකයින් අතර පුරාවිදු බිමක් ලෙසින් ප්‍රචලිතව
පැවැතියද , සමනළ හා කුරුලු නරඹන්නන්ට මෙම බිම කදිම තෝතැන්නක් ද වෙයි. කදු මුදුනට
පැමිණි විට එක් පසෙකින් සුන්දර කණ්ඩලම වැව දැකගත හැකිය. කාලයේ වැලි තලාවෙන් වැසී
ගිය එහෙත් සොදුරු දසුන් මවන කළුදිය පොකුණ පුරාවිදු බිමක් පමණක් නොව අපුර්ව
පාරිසරික සංචරණ කලාපයක් වන්නේ, මාතලේ පුරවරයට අගය එක්කරමිනි.
2014 මාර්තු
බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී
Comments
Post a Comment