Skip to main content

සීගිරි මතක රැස් කළ සෙවණ



සීගිරි මතක රැස් කළ සෙවණ

පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය  - මාතලේ
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල
ගමන් මාර්ගය -    කොළඹ - මහනුවර- මාතලේ - දඹුල්ල - සීගිරිය පුරා විද්‍යා භූමිය


ජාතියක් සතු ප්‍රෞඪ අතීතයේ අභිමානය වත්මන් පරපුරට කියා‍ දෙන්නටත් අනාගත පරපුරට උරුම කර දෙන්නටත් සැකසුණු අපූර්ව ගෘහයකි. එහි සීගිරි කසුප් ස්වර්ණමය යුගය පිළිබදව “අ” යනු “ආ” යනු අකුරු කරන්නට ඇති තරම් සාක්ෂි අපට දැක ගත හැකි වන්නේය. ලෝක උරුම නගරයක් ලෙසින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ සීගිරියට පිහිටුවන ලද “සීගිරිය කෞතුකාගාරය” අතීත ලාංකේය ශ්‍රී විභූතිය ලාංකේය මතු පරපුරට මෙන්ම ‍විදෙස් රටවලටද විදහා පාන තෝතැන්නකි.

සීගිරිය හා ඒ අවට සිදුකරන ලද කැණීම්වලින් වසර දස දහසකටත් වඩා පැරණි නිමැවුම්, උපකරණ හා බෞද්ධාගමික පිළිරූ ආදී පුරා වස්තු රැසක් සොයා ගැනීමට අපට හැකිව තිබුණද ඒවා නිසි ආකාරයෙන් සංරක්ෂණය කිරීමට පැවැති අවශ්‍යතාව සම්පූර්ණ කිරිම සදහා සීගිරිය පුරාවිද්‍යා  කෞතුකාගාරය සැලසුම් කෙරුණේ 2006 වසරේදීය. මේ සදහා මූල්‍යමය ආධාර සපයන ලද්දේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා පදනම මගිනි. ඒ අනුව සිගිරිය කෞතුකාගාරය ජපන් - ලංකා මිත්‍රතත්වයෙහි සංකේතයකැයි ද කිව හැකිය. සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයක් අනුව ඉදිකරන ලද සීගිරිය කෞතුකාගාරය සදහා ජපානය විසින් රුපියල්‍ කෝටි පනහකට ආසන්න මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇති අතර කෞතුකාගාරය මහජනතාවට විවෘත කරන ලද්දේ 2009 වසරේ අවසාන භාගයේදීය.

සීගිරිය ගල ඉදිරිපිට බටහිර දිසාවේ පිටත දිය අගල ආසන්නයේ පුරාවිද්‍යා සංරක්ෂණ භූමියේ ඉදිකර ඇති  සිගිරිය කෞතුකාගාරය “පුරාවස්තු ලිඛිත වෘත්තාන්තයක් ලෙස” යන තේමාව යටතේ මහල් තුනකින් යුක්තව ඉදිකර තිබේ.

සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයකින් යුක්තව නිර්මාණය කර ඇති මෙම කෞතුකාගාරය උතුරු මැද පළාතට දියවර සපයන යාන් ඔය මත යෙදුණු කොන්ක්‍රීට් කණු මත ඉදි කොට ඇත. අතු පතර විහිදී ගත් රූස්ස ගස් මැදිකොටගෙන යාන් ඔයේ ජල කද මතින් උස්ව නැගුණු දැවැන්ත කණු මත ගොඩනගා ඇති මෙ‍ම ගෘහය පරිසර හිතකාමී ගෘහ නිර්මාණ ශිල්පයට කදිම උදාහරණයකි.

සීගිරි ජල උද්‍යානයේ රැළි පැන්නුම් ආරුක්කුවේ ආකෘතිය යොදා ගනිමින් කෞතුකාගාරයේ පිවිසුම් දොරටුව නිර්මිතය. එය ගඩොල් යොදාගෙන නිර්මාණය කර තිබේ. ආලෝකය හා අදුරෙහි සංකලනය ද සමගින් වර්තමානයෙන් අතීතයට පිවිසෙන්නාක් බදු හැගීමක් එහි පිවිසෙන්නෙකුට ඇති කරන්නට මේ පිවිසුම් මග සමත් වී ඇත.

ප්‍රධාන මැදිරි සතරකින් සමන්විත මෙම කෞතුකාගාරයේ ප්‍රථම මැදිරිය වෙන්ව පවතින්නේ ප්‍රාග් ‍‍තිහාසික හා පූර්ව තිහාසික පරිණාමය පෙන්නුම් කිරීමටය. එහි වසර දස දහසක් දක්වා පැරණි පුරා විද්‍යාත්මක සාධක ප්‍රදර්ශනය කෙරෙයි. සීගිරිය පොතාන ප්‍රදේශයෙන් හමු වූ වසර 5500ක් පැරැණි ඇටසැකිල්ලක් ද මෙහි දැකගත හැකි වෙයි. සිගිරිය රාම කැලයෙන් සොයා ගන්නා ලද නව වැනි සියවසට අයත් ටැම්ලිපි දෙකක් ද මෙහි දැක ගත හැකිය.

ඊට අමතරව දඹුල්ලේ ඉබ්බන්කටුව මහා සුසාන භූමියෙහි තිබී සොයාගන්නා ලද පුරාවස්තු, පබලු සහ මැටි භාජන ද මෙහි දැකිය හැකිය. සීගිරියට කිලෝමීටර 15ක් දුරින් අලකොළ වැව ප්‍රදේශයේදී සොයා ගන්නා ලද අතිවිශාල යපස් උදුනක් ද මෙහි දැකගත හැකිය. කිස්තු පූර්ව පළවෙනි හා සතරවෙනි සියවස් අතර කාලයේදී මෙම ප්‍රදේශයේ යකඩ කර්මාන්තය සදහා මෙම යපස් උදුන් භාවිත කර ඇති බව කියැවේ.

අලිගල ප්‍රදේශයෙන් හා අලකොළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද ක්‍රිස්තු පූර්ව හත්වැනි සියවෙස් සිට හතරවැනි සියවස දක්වා පැරැණි පුරාවිද්‍යාත්මක නිමැයුම්ද මෙහි තැන්පත් කර තිබෙනු දැක ගත හැකි අතර අතීතයේ සිට මේ දක්වා පවතින භූවිද්‍යාත්මක විපර්යාස හා ක්‍රියාදාම පිළිබදව ද මෙහි දී දැක ගත හැකි වීම විශේෂත්වයකි.

දෙවැනි මැදිරිය වෙන් වන්නේ ආදී කාලීන හා පශ්චාත් කාලීන බෞද්ධ ආරාම පිළිබද පුරාවිද්‍යාත්ම සාධකයන්ය. සීගිරිය, පිදුරංගල, විහාර හින්න ආදී වූ පුරාවිදු බිම්වලින් හමුවූ කිරිගරුඩ හා හුණුගලින් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. රාම කැලේ ප්‍රදේශයෙන් හමු වූ තාරා දේවි ප්‍රතිමා ද මෙහි තැන්පත් කර තිබේ.

තෙවැනි මැදිරිය වෙන්ව ඇත්තේ සිගිරි චිත්‍ර, කැටපත් පවුරු ගී, කුරුටු ගී ආදිය සදහාය. සීගිරිය පුරාවිද්‍යාත්මක භූමි භාගයට අයත් වන වසර දෙදහස් පන්සියයක් පමණ පැරණි වන පුරාවිද්‍යාත්මක ප්‍රතිමා, නිපැයුම්, පිළිම මෙන්ම ශ්‍රී ලාංකීය‍ ප්‍රෞඩත්වය, රමණීයත්වය මෙන්ම සරල බවද ලොවට විදහා පාන්නට සමත් වූ ජාතික සළකුණක් වන සීගිරිය ගලේ ආකෘතියක් ද මෙහි දැකගත හැකිය. සීගිරි ආකෘතිය මගින් සිගිරි නගර සැලැස්ම මෙහි මනාව පෙන්වා දී තිබේ. සීගිරි කාශ්‍යප යුග‍ය සීගිරියේ ස්වර්ණමය යුගය ලෙස ඉස්මතුකර පෙන්වන ගල්කුළු උද්‍යානය, මාලක උද්‍යානය හා ජල උද්‍යානය ලෙසින් නිර්මිත උද්‍යාන සංකීර්ණයට අයත් වන බවට සැලකෙන පැරණි උළු වර්ග, සාම්ප්‍රදායික ජල නළ මාර්ග, වාමන රූප සැරසිලි, කුළුණු මෙහි දැකගත හැකිය.

සීගිරි කුරුටු ගී වල පිටපත් ද ශිලා ලේඛනද මෙහි තැන්පත් කර තිබේ. නයි පෙණ ගුහාව, දැරණියගල ගුහාව ආදිය මෙන්ම ශිලා උද්‍යානයේ දක්නට ලැබුණු සීගිරි සිතුවම්ද මෙහි තැන්පත් කර තිබේ. සිගිරිය කැනීම් වලදී සොයා ගන්නා ලද මුදු, කරාබු, විවිධ වර්ගයේ පබලු වර්ග, පැරණි කාසි වර්ග, කුණ්ඩලාභරණ ආදිය ද මෙහි දැකිය හැකිය. ඒ හැරුණු කොට රෝම, චීන, අරාබි, පර්සියන් හා ඉන්දියානු රටවලට අයත් යැයි සැලකෙන ගල් ආයුධ හා කාසි වර්ග ද මෙහි දක්නට ලැබේ. ලංකාව අතීතයේදී පවා ඉතා හොද ජාත්‍යන්තර හිතෛෂිකම් පැවැත්වූ රටක් බවට මේවා සාක්ෂි දරයි.

කුහුලින් පිරීගිය සීගිරිය නරඹන්නට දසතින් පැමිණියවුන් තම සිතුම් එහි සටහන් කළහ. සීගිරි කුරුටු ගී, නම් වූ මේ කව් ගී කියවා තේරුම් ගන්නට නම් පෘථුල භාෂා දැනුමකින් යුක්ත වූවෙකු විය යුතුමය.  කෞතුකාගාරයට පිවිසෙන්නෙකුට කුරුටු ගී සමගින්ම සිංහල තේරුම ද සටහන්ව තිබිමෙන් මේ භාෂාමය බාධා මගහැරි යයි. සිගිරි පර්ව‍තයේ ළගා විය නොහැකි තැන්හි සටහන්ව පවතිනකුරුටු ගී මෙහිදී දැක ගත හැකිවීමද සුවිශේෂි වන්නේය.

සිව්වැනි මැදිරිය “ රජමැදුරු දිවිය, ආරාම දිවි පෙවෙත හා විදේශ වෙළදාම පිළිබද කුටිය” ලෙස නම් කර තිබේ. අතීත රජ දවස රජ මාළිගාවන්හි භාවිත කරන ලද ආභරණ, ඇදුම් පැළදුම් හා කෘෂි උපකරණ ආදියෙහි නිදර්ශකවලින් මෙය පොහොසත්ය.

“සිත්තම් ලෙන” මෙහි ඇති සුවිශේෂි අංගයකි. සීගිරි බිතු සිතුවම් ලෙසින් ලෝ ප්‍රකට සීගිරි අප්සරාවන් කළු ගල් කුලෙහි සිත්තම් කර ඇති ආකාරයෙන්ම සිත්තම් කර තිබෙන අයුරු මෙහි පැමිණෙන්නට දැක ගත හැකිවෙයි. සීගිරි කෙවෙනිවල දැකගන්නට ලැබෙන දිව්‍යමය අප්සරාවන්ද මෙහි නිරූපිතය. සීගිරි ගල්කුළු අතර ඇති සිතුවම් නරඹන්නට නම් සර්පිලාකාර පියගැට පෙළකින් එහි ළගාවිය යුත්තේය. එම අත්දැකීම මෙහිදී ද ඒ ආකාරයෙන්ම අපට අත්විදින්නට ලැබෙනුයේ මෙම මැදිරිය වෙත ළගා වීම සදහා සර්පිලාකාර පියගැට පෙළකින් එහි පියවර තැබිය යුතු නිසාවෙනි. එමෙන්ම අවැසි තරම් කල් වේලා රැගෙන එහි රැදී සිටින්නට ද මෙහි කිසිවෙකුගෙන් බාධාවක් නොමැත්තේය.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කීතික සංවිධානයේ අනුග්‍රහය මත සීගිරිය හා දඹුල්ල ලෝක උරුම පරිශ්‍රය තුළ පසුගිය දශක කිහිපයේදී සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් රැස්කරගන්නා ලද සියලුම දෑ සිගීරිය කෞතුකාගාරයේදී දැකබලා ගත හැකි වීම අපට ලැබුණු මහගු දායාදයකි. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන මෙම කෞතුකාගාරය සදුදා දිනයන් හැරුණු කොට ඉතිරි දින හයේදීම පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා නොමිලයේම නරඹන්නන් වෙනුවෙන් විවෘත කර තිබේ. ආබාධිතයන් සදහා රෝද පුටු ගමන් කරවීමට වෙනමම පිවිසුම් මං තීරු මෙන්ම විදුලි සෝපානයක්ද ඇතුළත් කරමින් මෙය නිර්මාණය වී තිබේ.

වසර දස දහස් ගණනක අතීත ශ්‍රී විභූතිය ‍මුළු ලොවටම කියා  පාන්නට තරම් විශිෂ්ට නිර්මාණයක් වූ සීගිරිය හා ඒ අවට පුරා විද්‍යාත්මක වටිනාකම් එක් තැන් කරන මේ කෞතුකාගාරය මෙරට මෙන්ම විදේශිය බාල මහලු කාටත් අරුම පුදුම දෑ උගන්වන්නට සමත් වීම පුදුමයට කරුණක් නොවන්නේය.

ඡායාරූපය : අන්තර්ජාලයෙනි 

2014 අප්‍රේල්

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...