පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - මහනුවර
ගමන් මග - කොළඹ නුවර මාර්ගයේ කිලෝමීටර 110ක පමණ දුරකින්
පිහිටා ඇති පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
සුවිශේෂත්වය -
ශාක වල නිවැරදි උද්භිද විද්‍යාත්මක නාමය නිල වශයෙන් හදුන්වා දීමේ වගකීම
දරනු ලබන ශ්‍රී ලංකාවේ ඇති එකම ප්‍රධාන රාජ්‍ය ආයතනයයි.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය දෙස්
විදෙස් නරඹන්නන්ගේ පාරාදීසයක් මෙන්ම නෙත් සිත් පැහැර ගන්නා ශාක ලොව තුරු විසිතුරු
සොයායන මල් හා තුරු ලොවට පෙම් බදින්නන්ගේ පාරාදීසයක්ද වන‍්නේය. ජාතික ශාකාගාරය තුරු
ලොව ගවේෂණය කරන්නන්ට දැනුම බෙදා හරින කෞතුක පුස්තකාලයක් ලෙසින් එය හැදින්විය
හැකිය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළුවී දකුණු
පසින් ඇති ඔසු ඔයන,ජපන් උද්‍යානය සහ පාම් තුරු වලින් පිරි මාවත පසුකර ඉදිරියට යන
අපට උද්‍යානයේ බටහිර පෙදෙසේ ඇති සුදුපිරියම් කරන ලද දෙමහල් ගොඩනැගිල්ලකි. බ්‍රිතාන්‍ය
සමයේදී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලෙහි වර්තමානයේ ජාතික ශාකාගාරය (National
Herbarium) පිහිටුවා ඇත.
ලංකාවේ නන් දෙසින් එක් රැස්කරගත් ශාක වල
මුල්, පොතු, කොළ, ගෙඩි සහ මල් ආදී වශයෙන් සෑම කොටසක්ම එකට එකතු කොට ඒවායේ විස්තර
සටහන් කර මෙහි නිදර්ශකයක් වශයෙන් තැන්පත් කර තිබෙනු දැකිය හැකිය. පැලෑටියක් හදුනා
ගැනීමට අවැසි අයෙකුට එහි පිවිස නිදර්ශක පරික්ෂා කර බලා එහි උද්භිද විද්‍යාත්මක
නාමයේ සිට අවැසි සියලු තොරතුරු මෙමගින් සොයා බලා දැන ගැනීමට හැකියාව ඇත. ශාක ගවේෂණය, ශාක හදුනාගැනීම, නිදර්ශක පිළියෙල කිරිම සහ ලේඛනගත කිරීම මෙන්ම
තුරු සම්පත පිළබද සියලුම තොරතුරු ඇතුළත් කර නිර්මාණය කෙරෙන ශාක සංග්‍රහය පිළිබද
පුනරීක්ෂණ කටයුතු වලද ජාතික ශාකාගාරය සක්‍රීයව නිරතව සිටියි. සතියේ දින වල උදෑසන
9.00 සිට පස්වරු 5.00 දක්වා මෙය විවෘතව තැබෙයි. 1821 දී පේරාදෙණිය රාජකීය උද්භිද
උද්‍යානය ආරම්භයේ පටන්ම දිවයිනේ ශාක පිළිබද අධ්‍යනයේ නිරත ජාතික ශාකාගාරය
අන්තර්ජාතික ප්‍රසිද්ධියක් දරන්නාවූ ශාක පිළිබද විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන
ආයතනයකි.
ජාතික
ශාකාගාරයේ (National
Herbarium) ආරම්භය සනිටුහන් කෙරෙනුයේ 1818 සිට 1825 දක්වා මෙරට බ්‍රිතාන්‍ය
පාලන සමය තුළදී උද්භිද උද්‍යානයේ පරිපාලකයෙකුව සිටි ඇලෙක්සැන්ඩර් මූන් මහතාගේ
වියළි ශාක එකතුවක් සමගිනි. මුල් වරට සිංහල භාෂාවෙන් ශාක වල පොදු නාම අන්තර්ගත කර
සම්පාදනය කරන ලද “A
catalogue of the indigenous and exotic plants growing in Ceylon” (1924) ග්‍රන්ථයේ කතුවරයා වන්නේද මූන්
මහතාය. එතුමා විසින් රැස් කරගන්නා ලද ශාක එකතුවෙන් වැඩි කොටසක් වත්මනෙහිදී දැක ගත
හැකි වන්නේ එංගලන්‍තයේ කිව් ශාකාගාරයේ නමුදු ඒවායින් නිදර්ශක කිහිපයක් දැනට මෙරටදී
දැක ගත හැකි වීම අපගේ වාසනාවකි.
ඔහුගේ අනුප්‍රාප්තිකයන්
විසින් පසු කාලීනව ශාක නිදර්ශක විශාල ප්‍රමාණයක්
එක් රැස් කරන ලද නමුදු, ඒවා බොහෝමයක් උද්භිද විද්‍යාත්මක නාම රහිත වීමෙන් 1820
අගභාගයේදී ඉන්දියානු ශාක විශේෂඥවරයෙකු වූ රොබට් වයිට් මහතාගෙන් මෙම නිදර්ශක නැවතත්
නම් කරන ලෙස එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රිමත් ස්ටුවට්
මැකෙන්සි මහතා ඉල්ලා සිටි මුත් ශාක නාමාවලියක් සම්පාදනය කිරීමට තරම් එම තොරතුරු ප්‍රමාණවත්
නොවී ඇත. 1844 දී රොබට් වයිට් මහතා විසින් ශාක නිදර්ශක එකතුවක් ද එවකට උද්‍යානයේ
නව පරිපාලකවරයා ලෙස පත්ව සිටි ජෝර්ජ් ගාඩිනර් මහතා විසින් රැස්කළ ශාක නිදර්ශක
එකතුවක්ද පරිත්‍යාග වශයෙන් ලබාදී ඇත. එහෙත් මෙම එකතුවෙන් වැඩි ප්‍රමාණයක්
එංගලන්තයේ කිවි කෞතුකාගාරයේ පර්යේෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇති අතර ඒවා දැනට එහි
සංරක්ෂණය කර තැන්පත් කර ඇත.
1849 දී උද්‍යාන
පරිපාලකවරයා බවට පත්වූ උද්භිද විද්‍යාඥ ජී.එච්.කේ.ත්වෙයිට්ස් මහතා විසින් එක්රැස්
කළ ශාක නිදර්ශක සංඛ්‍යාව සමගින් නිදර්ශක 6000 ක් පමණ මෙහි තැන්පත් කර ඇත. මෙම
නිදර්ශක භාවිත කරමින් ඔහු විසින් “Ceylon plants” නමින් අංකනය කරන ලද නිදර්ශක කට්ටල සකස් කර ඇති අතර
අතිරේකව තිබූ ශාක නිදර්ශක විදෙස් රටවල් සමග හුවමාරු කර ගැනිමට කටයුතු කිරීමෙන්
නිදර්ශක එකතුව තව දුරටත් වැඩි දියුණු කරගැනීමට සමත් විය. වර්ෂ 1864 දී ත්වෙයිට්ස්
මහතා විසින් නිදර්ශක අංකනය කර, ශාක විශේෂ සී.පී අංක ලබා දෙමින් හදුනාගැනීමට හා ඒවා
රැස්කළ අයවලුන්ගේ තොරතුරු සටහන් කිරීමට කටයුතු කර ඇත. එහෙත් ශාකාගාරයේ ඇති සී.පී
මාලාවේ බොහෝ නිදර්ශක නම් කර නොමැති වීම කණගාටුවට කරුණකි. ඇතැම් නිදර්ශක වල නංවන ලද
පත්‍ර වල එම ශාක නිදර්ශකය රැස්කළ තැනැත්තාගේ නම ලෙස වැඩි වශයෙන් ගාඩිනර් මහතාගේ නම සටහන්ව ඇති
නමුදු පැන්සලයෙන් තබන ලද සටහන් අද වන විට වියැකී ගොස් ඇත.
ශාකාගාරයට
ශාක නිදර්ශක සැපයීමෙහිලා දායක වූවන් අතර බ්‍රිතාන්‍ය පාබල හමුදාවේ කර්නල්
ජේ.ටී.වෝකර් හා ඔහුගේ භාර්යාව (1830-1840 කාල වකවානුව) ද ජී.ඒ.වෝටර් හා වයිට්
(1836) යන විද්‍යාඥයින්ද වෙති. 1896 සිට 1900 දක්වා උද්‍යානයේ අධ්‍යක්ෂක ධූරයට පත් වූ හෙන්රි
ට්‍රයිමන් මහතා විසින් දිවයිනේ එතෙක් ගවේෂණය නොකරන ලද සෑම ප්‍රදේශයකම මෙන් ශාක
ගවේෂණ කටයුතු සිදු කර ශාක නිදර්ශක රැස්කරන ලද අතර “The Handbook to the Flora of Ceylon” ග්‍රන්ථයේ කතුවරයා වන්නේද ඔහුය. ඔහුගෙන් පසුව ජාතික ශාකාගාරයේ පාලක ධුරය
හොබවන ලද ජේ.සී.විලිස් සහ රජයේ උද්භිද විද්‍යාඥ ඒ.එච්.ජි.ඕල්ස්ටන්,
කේ.එල්.ඩී.අමරතුංග සහ ඒ.එච්.එම්.ජයසූරිය යන අයවලුන් නිදර්ශක එකතුවට විශාල
දායකත්වයක් සැපයූ පුද්ගලයෝ වෙති.
1969-1979
කාලයේදී ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පුනරීක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් සේවයේ නියුතුව සිටි
උද්භිද විද්‍යාඥයින් වන ස්මිත් සෝනියන් ආයතනය හා බ්‍රිතාන්‍ය ඕවර්සීස්
ඩිවෙලොප්මන්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන් (1988-1997) ආයතනය විසින් දෙනු ලැබූ ආධාර මත
ශාකාගාරයට සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත. ස්මිත් සෝනියන් ආයතනය ආධාර කළ ව්‍යාපෘතිය
මගින් නිදර්ශක 40,000 කට ආසන්න ප්‍රමාණයක්ද බ්‍රිතාන්‍යයේ ඕ.ඩී.ඒ.ආයතනයේ ආධාර මත
නිදර්ශක 20,000 කට ආසන්න ප්‍රමාණයක්ද ශාකාගාරයට එකතු කර තිබේ. ඒ හැරුණු කොට මෙම ව්‍යාපෘති
වලට සහභාගී වූ උද්භිද විද්‍යාඥයින් විසින් එම නිදර්ශක පිළිගත් විද්‍යාත්මක
නාමකරණයට අනුව නම් කර ඇත.
ජාතික ශාකාගාරයෙහි වියළි ශාක එකතුව සදහා
නිදර්ශක රැස්කරගැනීමේ දී සාමාන්‍යයෙන් එක් ශාක විශේෂයකින් වියළි ආදර්ශ කිහිපයක්
එකතු කරගන්නා අතර එයින් එක් ආදර්ශයක් පැළෑටිය අයත් රටේ තබාගන්නා අතර අනෙක් ඒවා
ලෝකයේ විවිධ රටවල ශාකාගාර වලට යැවීම සාම්ප්‍රදායික හා ආරක්ෂාකාරී පිළිවෙතකි.මෙසේ
එකතු කරගන්නා ශාක විශේෂ නිවැරදිව හදුනා ගැනීම සදහා ඒවායේ මාංශල ඵල, මල්, භූගත කදන්
ආදිය ප්‍රයෝජනවත් වන බැවින් ඒවා විශේෂ ක්‍රම මගින් වියළිමකින් තොරව දියරමය මාධ්‍යයක්
තුළ සංරක්ෂණය කරයි. සාමාන්‍ය ක්‍රමයට පීඩනයට ලක් කර වියළීමට නොහැකි තාල වර්ගයේ
ශාක පත්‍ර හා විවිධ ඵල වර්ග,මීවන, පාසි හා ලයිකන ආදිය වෙනත් ප්‍රායෝගික ක්‍රම
භාවිත කර අධ්‍යයන කටයුතු සදහා සංරක්ෂණය කර තිබෙනු මෙහිදී දැකිය හැකිය.
ලංකාවේ
දක්නට ලැබෙන සපුෂ්ප ශාක සියල්ලේම වියළි නිදර්ශක මෙහිදී දැක ගත හැකිය. ඒ අතර
සපුෂ්ප ශාක, විවෘත බීජක, පර්ණාංග හා
පර්ණාංග බන්ධුතා දක්වන විශේෂ, බ්‍රයෝපීටා, ලයිකන සහ ඇල්ගී ශාක නිදර්ශ ද වෙයි.
ශාකාගාරය සතු ඉතා පැරණිම නිදර්ශකය අවුරුදු 180ක් පමණ වන අතර මෙම නිදර්ශක ජාත්‍යන්තර
ප්‍රමීතින්ට අනුව සංරක්ෂණය කර තිබෙනු දැකිය හැකිය. මෙම නිදර්ශක වලින් 430ක් පමණ
මුල් නිදර්ශක (Type
Specimens) ලෙස තැන්පත් කර ඇත.ඒ හැරුණු කොට ශාක වර්ගීකරණය පිළිබදව ලියැවුණු පොත් හා ශ්‍රී
ලංකාවේ උද්භිද ඉතිහාසය පිළිබද වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන්නාවූ වටිනා උද්භිද
විද්‍යාත්මක විස්තර හා රූප සටහන් අඩංගු පොත් දළ වශයෙන් 5000 ක් පමණ මෙහි තැන්පත්
කර තිබේ.
පරිහරණයේදී සිදුවන හානි අවම කරගැනීමටත්,
කෘමින්ගෙන් ශෘක නිදර්ශකයන්ට සිදුවන හානිය වැළැක්වීමටත් කටයුතු කරමින්, නැවත නැවත
ශාක නිදර්ශක වල දත්ත සටහන් පවත්වාගෙන යෑමට මෙහි සේවයේ නියුතු වූවන් සිදුකරන්නාවූ
සේවාව අතිමහත්ය.
වත්මනෙහි
මෙහි සංරක්ෂණය කර තිබෙන මුළු නිදර්ශක සංඛ්‍යාව 140,000 ක් පමණ වන බව කියැවේ. විද්‍යාත්මක
වර්ගීකරණයන්ට අදාළ පර්යේෂණ කටයුතු වල නිරත වන දෙස් විදෙස් පර්යේෂකයන්ට මෙය දැනුම
බෙදන කේන්ද්‍රස්ථානයකි. ශාක ආනයනයේදී හා අපනයන්හිදී රේගු දෙපාර්තමේන්තුවට හා ශාක නිරෝධායන
ආයතනයට ද මෙය සේවා සපයන අතර රතු දත්ත පොතට අවශ්‍ය ශාක පිළිබදව තොරතුරු සැපයීමටද
දායක වන මෙම ආයතනය වර්තමානයෙහිදී ලොව අනෙකුත් රටවල් වල ඇති ප්‍රසිද්ධ ශාකාගාර හා
පර්යේෂණ ආයතන සමග දැනුම හා නිදර්ශක හුවමාරු කරගැනීමේ ක්‍රියාදාමයක යෙදී සිටියි. ජාතික
ශාකාගාරය සැබැවින්ම තුරු ලොවට පෙම්බදින්නන්ට මිල කළ නොහැකි තිළිණයකි.
ඡායාරූප: අන්තර්ජාලයෙනි
2014 මැයි
බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී
Comments
Post a Comment