Skip to main content

මල් ලොව රැජිණ : උඩවැඩියා



මල් ලොව රැජිණ : උඩවැඩියා 

පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - මහනුවර
ගමන් මාර්ගය -
 කොළඹ- නුවර මහාමාර්ගය ඔස්සේ  කිලෝමීටර 110 ක දුරින් 
කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ සරසවි උයන දුම්රිය පොළ‍ සිට බසයකින් හෝ කුලී රියකින් ළගා විය හැකිය
විශේෂත්වය - මල් ලොව රැජිණ ලෙසින් විරුදාවලිය ලත් උඩවැඩියා හෙවත් ඕකිඩ් මල් වෙනුවෙන්ම වෙන් කළ නිවහනකි

කොළඹ නුවර මාර්ගය ඔස්සේ මෙහි ඇදෙන අයවලුන් මල් ලොව විසිතුරු බලන්නට පෙළගැසෙති. තුරු ලොව විසිතුරු දකින්නට අසා කරති. ඒ මල් ලොව තුළ මල් ලෝකයේ රැජිණ ලෙසින් දිදුලන්නාවූ ඕකිඩ් මල් කුමරියන්ගේ විසිතුරු දකින්නට නෙතු නොඉවසිලිමත්ය. නෙක පැහැ දේදුනු වර්ණයන්ගෙන් හැඩ වන මේ කුමරියන්ගේ රුව දකින්නට අපද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ “ඕකිඩ් මල් මැදුර” වෙත පිවිසියෙමු.

එය නන් පැහැගත් ඕකිඩ් මල් කුමරියන්ටම වෙන් වූ මන්දිරයකි. එහි නොයෙකුත් හැඩ ගත්, විසිතුරු පැහැයෙන් නෙත් සිත් වශිකරවන රැජිණියන් එක් අයෙකුට තවකෙක් පරදින්නට අකැමැති වන්නේ, දිලෙමින් තම වරුණ විදහා පාන්නට උත්සුක වෙති.

“උඩවැඩියා” හෙවත් “ ඕකිඩ්” යනුවෙන් හැදින්වෙන මලෙහි අතීතය 19 වැනි ශතවර්ෂය දක්වා ඉතිහාසය දක්වා දිවයයි. ප්‍රභේද 22,000 කට අධික ප්‍රමාණයක් ඇති උඩවැඩියා මල් මේ මිහිතලය මත පහළ වී ඇති පැරණිතම මල්වලින් එකකි. ඇතැම් උඩවැඩියා මල්වලට ලාංකිය සංස්කෘතියටම අනන්‍ය වූ නාමයන් ආරෝපණය වී ඇත්තේය. උඩරට නැට්ටුවා, වෙසක් මල, නරිනගුට හා නගා මැරූ අල ආදිය මේ සදහා කදිම උදාහරණ වෙයි.

ඕකිඩ් මල් වැවීමේ උන්මාදය ලොව මුල් වරට ආරම්භය සනිටුහන් කරනුයේ 19 වැනි ශත වර්ෂයේ ශාක වර්ග එක්රැස් කරන්නෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික විලියම් සර්වේන්සන් විසින් ඕකිඩ් මල් පෙට්ටියක් බ්‍රසීලයේ සිට සිය රට වූ බ්‍රිතාන්‍ය කරා යැවීමෙන් සිදු වූ බව සැලකේ.  එහෙත් ලාංකීයන් මේ මල හදුන්වන්නේ “උඩවැඩියා” යන නාමයෙනි. ඒ බොහෝ විට මේ මලෙහි නිරායාසයෙන්ම පිළිබිඹුව පවතින්නා වූ ආඩම්බරකාර ස්වභාවය නිසාවෙනැයි හැගෙයි.

උඩවැඩියා මලේ හැඩය හා වර්ගවලට වහා ඇති වූ ජනතා ආකර්ෂණය ඒවා ජනප්‍රිය වීමට හේතු විය. එසේ ප්‍රචලිත වූ උඩවැඩියා මල විනෝදාංශයක් ලෙස මල් වවන්නට පෙළඹුණු අයවලුන්ගේ විනෝදාංශයක් මෙන්ම වර්තමානයේදී වෘත්තීයක් ලෙසින් ආර්ථිකය ශක්තිමත් කරන්නට ද සමත් වී ඇත්තේය. අනෙකුත් මල් කුලයන් හා සංසන්දනාත්මකව බලන කළ වර්ණයන්ගෙන්, හැඩයෙන් හා ප්‍රමාණයෙන් විවිධත්වය අතින් ඉදිරියෙන්ම සිටින්නේ උඩවැඩියා මල්ය.

ඕකිඩේසියා පවුලට අයත් වන ඕකිඩ් මල්, ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium), වැන්ඩා (Vanda),ඔන්සිඩියම් (Oncidium), කැටේලියා (Cattleya) හා පැලනොප්සිස් (Phalaenopsis) යන වර්ග වලින් යුත් ප්‍රභේදයන්ගෙන් සමන්විතය. නිවර්තන කලාපීය ශාකයක් ලෙස සැලකෙන ඕකිඩ් මල් කුල 169 කට අයත් මල් වර්ග ලංකාවේ දී දැකගත හැකි වෙයි.  පහතරට තෙත් කලාපයේ, අතරමැදි කලාපයේ හා මධ්‍යම කදුකරයේ බහුලව දැක ගත හැකි ඕකිඩ්, විශේෂ බෙහෙවින් ලංකාවේ ව්‍යාප්තව ඇත්තේ නුවරඑළිය, මහනුවර, රත්නපුරය දිස්ත්‍රික්කයන්හි හා රිටිගල, සිංහරාජ වනාන්තර ආශ්‍රිතව වෙයි. ඒ අතරින් ලංකාවට ආවේණික වූ එමෙන්ම දැනට වදවී යාමේ තර්ජනයට ලක්වූ ඕකිඩ් විශේෂද වෙයි. එවැනි විශේෂ ආරක්ෂා කර ගන්නට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටුවා ඇති ඕකිඩ් ගෘහය පිටුවහලකි.


ඩෙන‍්ඩ්‍රෝබියම් ගණයට අයත් වන ඕකිඩ් මල් කිනිති ආකාරයෙන් යුක්ත වන අතර ඉතා තද පැහැති වර්ණයන්ගෙන් සමන්විත වෙයි. වැන්ඩා ගණයට අයත් මල් රතු , දුඹුරු හා කහ පැහැයන්ගෙන් යුතු වෙයි.  කැටලියා ගණයේ මල් විශාල වන අතර මල් වර්ණවත් වෙයි. එක් කිනිත්තක හට ගන්නා මල් ප්‍රමාණයට අඩු වන අතර බදුන් ගත පැළැටියක් ලෙස වටිනාකමකින් යුක්ත වෙයි. පැලනොප්සිස් ගණයේ මල් විශේෂ 50 ක් පමණ දැනට හදුනාගෙන ඇති අතර එක් කිනිත්තක මල් 8ක් හෝ 10 ක් පමණ ඇති මල් කිනිති වලින් මෙම පැළය සමන්විතය.

මේ හැරුණු කොට උඩවැඩියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් දෙමුහුන් කරන ලද, නව උඩවැඩියා වර්ග රැසක් ද මෙම ගෘහය තුළ දැකගත හැකිය. හිරු එළිය ප්‍රිය කරන ශාකයක් වන නමුදු දැඩි හිරු රැස් ශාකයට මෙන්ම මල් වල පැහැයටද අහිතකර බැවින් බොහෝ විට සෙවණක් සහිතව මෙම ශාකය වගා කෙරෙයි. ඒ උඩවැඩියා මල් වල ඇති වර්ණවත් බව රැක ගැනීමේ අපේක්ෂාවෙනි. ගෘහයක් තුළ මෙම ශාකය වගා කෙරෙන්නේ එහෙයිනි. ශ්‍රී ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂ අතර උඩරට නැට්ටුවා, නගා මැරූ අල, වෙසක් මල, නරිනගුට, වනරාජ ආදිය දැක්විය හැකිය.

වසර මුළුල්ලේම මෙම ගෘහය තුළ විවිධ වර්ණයන්ගෙන් හා විවිධ හැඩයන්ගෙන් පිරි ගිය මල් කිනිති දැක ගත හැකිවෙයි. ඒ ඕකිඩ් විශේෂයන්‍හි මල් හටගන්නේ වසරේ විවිධ කාල පරාසයන්හිදී වන බැවිනි. කහ හා රතු වෙස් ඇදුමෙන් සැරසෙන “උඩරට නැට්ටුවා” ද සුදෝ සුදු පැහැයෙන් පරෙවියෙකුගේ හැඩ ගන්නා “pigeon orchid” මල් ද මෙහි දැකිය හැකිය.  බුරුම හා මැලේසියානු කුලයන්හි එකතුවකින් නිර්මිත වැන්ඩා ගණයට අයත් වන තද දම් හා ලා දම් පැහැති මලක් වන “Vanda miss joaquim” සිංගප්පූරුවේ ජාතික පුෂ්පය වශයෙන් සැලකෙන නමුත් මෙරට දී බහුලව දැකිය හැකි වෙයි. මකුළුවෙකුගේ ලෙසින් අඩු විහිදා ගත්, ශරීරය පුරා වර්ණවත් තද රතු හෝ දුඹුරු පැහැ රටාවෙන් හැඩ ගන්වාගන්නා මේ මල් කුමරියන් විලාසිතා මවන්නට සමත් වන්නේ මෙම ගෘහයට අපූර්ව සුන්දරත්වයක් එක් කරමිනි.

ලක් දෙරණට දායාදයක් ලෙසින් සැලකෙන රාජකීය උද්භිද උද්‍යානයේ ඕකිඩ් ගෘහය මෙරට උඩවැඩියා මල් විලාසිතා දැක්මට සැදූ වේදිකාවකි. එහි ලංකාවට ආවේණික, එමෙන්ම විදේශයන්ගෙන් ගෙවන්වන ලද මෙන්ම මෙරටදී වැඩි දියුණු කරන ලද දෙමුහුන් ඕකිඩ් විශේෂද වෙයි. එමෙන්ම මෙරට ඕකිඩ් මල් වගාවේ නිරත වන්නන්ට මෙන්ම ගෘහ අලංකරණය හා උද්භිද විද්‍යා අධ්‍යනයන්හි නිරත වන්නන් හට ද අවශ්‍ය දැනුම සපයා ගන්නට මේ තෝතැන්නකි. මෙහි අසිරිය විදින්නට නම්, නිහඩවම මේ කුටිය තුළ සිටින මේ කුමරියන්ගේ නෙක පැහැ ගත් වස්ත්‍රයන්ට මෙන්ම ඔවුන් සෙමින් මුමුණමින් කියන ආදරණිය කතාවන්ටද සවන් දෙන්නට අප සැදී පැහැදී සිටිය යුතුමය.

ඡායාරූප : අන්තර්ජාලයෙනි 

2014 මැයි

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...