Skip to main content

යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය



යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය


දිස්ත්‍රික්කය -  මාතලේ දිස්ත්‍රික්කය
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -  යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය
ග්‍රාම නිලධාරි කොට්ඨාශය -  දුල්ලෑව ග්‍රාම නිලධාරී කොට්ඨාශය
ගමන් මාර්ගය -  මාතලේ - මන්දන්ඩාවෙල හරහා කිලෝමීටර 10 ක පමණ දුරකින් පිහිටා ඇත
විශේෂත්වය  - විසිවැනි සියවසේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙරට අවසන් හා ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා හා ප්‍රථම ජනාධිපතිවරයා වු විලියම් ගොපල්ලව මහතා‍ උපන් නිවසයි

මාතලේ අස්ගිරි උඩසිය පත්තුවේ, දුල්ලෑව නම් ග්‍රාමයේ දී ගොකරැල්ලේ ටිකිරි බණ්ඩාර ගොපල්ලව මහතාට සහ දුල්ලෑව ග්‍රාමයේ ටිකිරි කුමාරිහාමි දුල්ලෑව මහත්මියට දාව විලියම් ගොපල්ලව ළදරුවා 1896 සැප්තැම්බර් 17 වැනි දින මෙලොව උපත ලැබීය. ඒ දුල්ලෑව වලව්වේ දී ය. නිහඩ නිසංසල පරිසරයක පිහිටි මේ මහ වලව්ව එදා පටන් විලියම් ගොපල්ලව හෙවත් මෙරට ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයාගේ මෙන්ම මෙරට ප්‍රථම නාමික නොවන විධායක ජනපතිවරයාට හැදී වැඩෙන්නට සෙවණ දුන් නිවස වීය.  

දුල්ලෑව ග්‍රාමයෙහි තම ළමා කාලය කෙළිදෙලෙන් ගෙවන්නට විලියම් ගොපල්ලව මහතාට සෙවණ දෙන මේ විසල් මැදුර තට්ටු දෙකකින් නිර්මාණය වූවකි.  කුඩා විලියම් ගොපල්ලව දරුවා මේ නිවස පුරා දුව පැන ඇවිද්දේය. ඉදිරිපස ඇති විසල් සුදු පැහැ කුළුණු වලින් නිවසට එක්කරන්නේ අභිමානවත් දුල්ලෑව මහ අධිකාරම් පරපුරේ අභිමානයයි.  ඒ විලියම් ගොපල්ලව මහතාගේ මෑණියන් දුල්ලෑව පරපුරට නෑකම් කියන නිසාවෙනි. විලියම් ගොපල්ලව මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ ද දුල්ලෑව ග්‍රාමයේ වීම සුවිශේෂත්වයකි. ඉන් පසුව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා ධර්මරාජ විද්‍යාලයෙන් තම ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කරන විලියම් ගොපල්ලවයන් 1926 දී මාතලේ නගර සභාවට තේරී පත්විමෙන් තම දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කරන්නේය. 1958 දී චීන තානාපති ධූරය හෙබවූ මෙතුමා 1962 දී මෙරට ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා බවට පත්වන අතර 1972 දී ජනරජයක් බවට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට පත්විය.

ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය විදහා පාන දුල්ලෑව වලව්ව මැද මිදුල, සොල්දරය හා විසල් විසිත්ත කාමරය හා නිදන කාමර දහයකින් පමණ සමන්විත වූවකි. උස් පාදමක් මත නිර්මාණය වන මේ ගෘහයේ, හතරැස් හැඩයේ මැද මිදුල වටා ඉස්තෝප්පු හා කාමර ගොඩනැගී ඇත. මෙහි බොහෝ දෑ දැවකමින් අලංකෘත වී ඇත. අතීතයේදී මෙහි පාරම්පරික සේසත්, හා සිංහල කැටයමින් අලංකෘත දැව භාණ්ඩ නිවසට තේජස එක් කරන්නට සමත්වන්නට ඇත. සිංහල උළු සෙවිලි කරන ලද වහලයෙන් සමන්විත වන මේ නිවස්නෙහි උඩරට සාම්ප්‍රදායික රදළ නිවාසයන්හි ලක්ෂණ තවමත් ඉතිරිව ඇත්තේය. සොල්දරයට නගින්නට සැකසුණු දැව පිය ගැට පෙළ දැව අත්වැටකින් යුක්ත වී ඇත. හරිත වර්ණ පරිසරයක ගාමිභීරව විරාජමාන මේ ගෘහයේ දොර ජනෙල් මෙන්ම සරනේරු ඇණ පවා දැවයෙන් නිමවා තිබී ඇත. එය මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දස්කම්  විදහාපායි.

විලියම් ගොපල්ලව මහතාගේ උපන් නිවස වන දුල්ලෑව වලව්ව කාලයත් සමග මෙරට පෞරාණික නිවාසයන් අතරට එක්වී ඇත. මාතලේ පුරවරයෙහි උඩරට ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත්ව නිර්මාණය වූ මේ නිවස අදවන විට කාලයේ වැලිතලාවෙන් සැගවී යන්නට උත්සාහ දරන බව එහි යනෙන අයෙකුට පෙනී යයි. 2011 වසරේ දී මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට එක් වූ මෙහි සුන්දරත්වයත් , පෞරාණික හා තිහාසික වටිනාකමත් මතුපරපුරට දායාද කරන්නට අවැසි පියවර ගැනීමට අප සමත් නොවුවහොත් මේ වටිනා ගෘහ නිර්මාණය අපට සදහටම අහිමි වනු ඇත.

2015 පෙබරවාරි

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව