Skip to main content

යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය



යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය


දිස්ත්‍රික්කය -  මාතලේ දිස්ත්‍රික්කය
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -  යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය
ග්‍රාම නිලධාරි කොට්ඨාශය -  දුල්ලෑව ග්‍රාම නිලධාරී කොට්ඨාශය
ගමන් මාර්ගය -  මාතලේ - මන්දන්ඩාවෙල හරහා කිලෝමීටර 10 ක පමණ දුරකින් පිහිටා ඇත
විශේෂත්වය  - විසිවැනි සියවසේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙරට අවසන් හා ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා හා ප්‍රථම ජනාධිපතිවරයා වු විලියම් ගොපල්ලව මහතා‍ උපන් නිවසයි

මාතලේ අස්ගිරි උඩසිය පත්තුවේ, දුල්ලෑව නම් ග්‍රාමයේ දී ගොකරැල්ලේ ටිකිරි බණ්ඩාර ගොපල්ලව මහතාට සහ දුල්ලෑව ග්‍රාමයේ ටිකිරි කුමාරිහාමි දුල්ලෑව මහත්මියට දාව විලියම් ගොපල්ලව ළදරුවා 1896 සැප්තැම්බර් 17 වැනි දින මෙලොව උපත ලැබීය. ඒ දුල්ලෑව වලව්වේ දී ය. නිහඩ නිසංසල පරිසරයක පිහිටි මේ මහ වලව්ව එදා පටන් විලියම් ගොපල්ලව හෙවත් මෙරට ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයාගේ මෙන්ම මෙරට ප්‍රථම නාමික නොවන විධායක ජනපතිවරයාට හැදී වැඩෙන්නට සෙවණ දුන් නිවස වීය.  

දුල්ලෑව ග්‍රාමයෙහි තම ළමා කාලය කෙළිදෙලෙන් ගෙවන්නට විලියම් ගොපල්ලව මහතාට සෙවණ දෙන මේ විසල් මැදුර තට්ටු දෙකකින් නිර්මාණය වූවකි.  කුඩා විලියම් ගොපල්ලව දරුවා මේ නිවස පුරා දුව පැන ඇවිද්දේය. ඉදිරිපස ඇති විසල් සුදු පැහැ කුළුණු වලින් නිවසට එක්කරන්නේ අභිමානවත් දුල්ලෑව මහ අධිකාරම් පරපුරේ අභිමානයයි.  ඒ විලියම් ගොපල්ලව මහතාගේ මෑණියන් දුල්ලෑව පරපුරට නෑකම් කියන නිසාවෙනි. විලියම් ගොපල්ලව මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ ද දුල්ලෑව ග්‍රාමයේ වීම සුවිශේෂත්වයකි. ඉන් පසුව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා ධර්මරාජ විද්‍යාලයෙන් තම ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කරන විලියම් ගොපල්ලවයන් 1926 දී මාතලේ නගර සභාවට තේරී පත්විමෙන් තම දේශපාලන දිවියේ ආරම්භය සනිටුහන් කරන්නේය. 1958 දී චීන තානාපති ධූරය හෙබවූ මෙතුමා 1962 දී මෙරට ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා බවට පත්වන අතර 1972 දී ජනරජයක් බවට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට පත්විය.

ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්වත්වය විදහා පාන දුල්ලෑව වලව්ව මැද මිදුල, සොල්දරය හා විසල් විසිත්ත කාමරය හා නිදන කාමර දහයකින් පමණ සමන්විත වූවකි. උස් පාදමක් මත නිර්මාණය වන මේ ගෘහයේ, හතරැස් හැඩයේ මැද මිදුල වටා ඉස්තෝප්පු හා කාමර ගොඩනැගී ඇත. මෙහි බොහෝ දෑ දැවකමින් අලංකෘත වී ඇත. අතීතයේදී මෙහි පාරම්පරික සේසත්, හා සිංහල කැටයමින් අලංකෘත දැව භාණ්ඩ නිවසට තේජස එක් කරන්නට සමත්වන්නට ඇත. සිංහල උළු සෙවිලි කරන ලද වහලයෙන් සමන්විත වන මේ නිවස්නෙහි උඩරට සාම්ප්‍රදායික රදළ නිවාසයන්හි ලක්ෂණ තවමත් ඉතිරිව ඇත්තේය. සොල්දරයට නගින්නට සැකසුණු දැව පිය ගැට පෙළ දැව අත්වැටකින් යුක්ත වී ඇත. හරිත වර්ණ පරිසරයක ගාමිභීරව විරාජමාන මේ ගෘහයේ දොර ජනෙල් මෙන්ම සරනේරු ඇණ පවා දැවයෙන් නිමවා තිබී ඇත. එය මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දස්කම්  විදහාපායි.

විලියම් ගොපල්ලව මහතාගේ උපන් නිවස වන දුල්ලෑව වලව්ව කාලයත් සමග මෙරට පෞරාණික නිවාසයන් අතරට එක්වී ඇත. මාතලේ පුරවරයෙහි උඩරට ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත්ව නිර්මාණය වූ මේ නිවස අදවන විට කාලයේ වැලිතලාවෙන් සැගවී යන්නට උත්සාහ දරන බව එහි යනෙන අයෙකුට පෙනී යයි. 2011 වසරේ දී මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට එක් වූ මෙහි සුන්දරත්වයත් , පෞරාණික හා තිහාසික වටිනාකමත් මතුපරපුරට දායාද කරන්නට අවැසි පියවර ගැනීමට අප සමත් නොවුවහොත් මේ වටිනා ගෘහ නිර්මාණය අපට සදහටම අහිමි වනු ඇත.

2015 පෙබරවාරි

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...