Skip to main content

වීර පුරන් අප්පු සිහිවටනය


වීර පුරන් අප්පු ස්මාරකය - මාතලේ

ගමන් මාර්ගය   -   නුවර - යාපනය - ඒ 9 මාර්ගයේ මාතලේ නගරයේ සිට කොහොඹිලිවල ග්‍රාමය සමීපයේ ඇති පුරාවිදු බිම

විශේෂත්වය -  1848 මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් වීර පුරන් අප්පු සිහිවීම පිණිස ස්ථාපිත කරන ලද්දකි.

ඒ එක්දහස් අටසිය හතළිස් අට වර්ෂය යි. සිංහල ජනයා, ඉංග්‍රීසි  පාලනතන්ත්‍රයට සිය අප්‍රසාදය දැක්වීමට ගත් සියලු උත්සාහයන් නිරර්ථක වි තිබූ යුගයක් විය. බදුබරින් නිදහස් වීමට, ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් පුරන් අප්පු ඉංග්‍රීසින් සමග මහනුවර කච්චේරීයේ දී හා මගුල් මඩුවේ දී සකච්ඡා කිහිපයක්ම පැවැත්වූ නමුදු ඒවාට සාර්ථක ප්‍රතිඵල නොලැබිණි. බලා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් පුරන් අප්පු ඉංග්‍රීසින් මෙරටින් පන්නා දැමීමට පියවර තබන්නට ඉටා ගත්තේය. කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මාතලේ වැනි ඉපැරණි යටගියාවක් ඇති නගර, ගම් දනව් හරහා ඔහුගේ දෙපා වෙහෙසුණේය. ජාත්‍යාලයෙන් හද පිරී ගිය, එහෙත් නායකත්වයක් නොමැතිව විසිර සිටි  ජනයා මෙන්ම සංඝයාවහන්සේ ද ශාසනය, රට ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයෙන් පුරන් අප්පුට සහය දැක්වීමට ප්‍රතිඥා දුන්හ. ඒ අනුව ජනතා කැරැල්ලක උපතට අවැසි සියලු දෑ සැකසෙමින් තිබිණි.

1812 වර්ෂයේ නොවැම්බර් 7 වැනි දින මොරටුව ප්‍රදේශයේ උයන නම් ග්‍රාමයෙහි, වතු හිමියෙකු වූ වීරබල ජයසූරිය කුරුඋතුම්පාල අත්ථදේව ගුණරත්න පටබැදි‍ගේ කලිස්තෝරු ප්‍රනාන්දු සහ ශ්‍රී ලක්විජය සිංකිත් වර්ණ මාණ්ණ දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහා විදානලාගේ හෙලේනා නෝනිස් යන දම්පතින්ට දාව ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු නම් ලැබූ දරුවා බිහි විය. කුඩා කළ සිටම ඔහු නිර්භීත ගතිපැවතුම්වලින් සමන්විත වූවෙකු වූයේය.  සුදු මිනිසාගේ අකටයුතුකම් හමුවේ තම ජාතියට අත්ව ඇති ඉරණම දුටු දහතුන් හැවිරිදි ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු තමාගේ ජාතියට හිමි අපරාජිත අභිමානය නැවතත් කෙසේ හෝ ආපසු ලබාගත යුතු යැයි ඉටා ගත්තේය. 1825 දී පොලිස් විදානේ කෙනෙකු තමාට නිකරුණේ පහර දීම නිසා කුපිත වූ ප්‍රනාන්දු තරුණයා ඔහුට ප්‍රතිප්‍රහාර දී බදුල්ලට පැන ගොස් තම මාමා කෙනෙකුගේ නිවසේ නැවතී සිටියේය.  ගම්වාසීන් සමග එක්ව වෙසෙමින් ඔවුන්ගේ නැතිබැරිකම් මග හැරවීමට ක්‍රියා කළ මේ තරුණයා දූගී මහජනයාගේ හිතවතකු බවට පත් වූයේය.

දුගී ජනතාවගේ සුබසිද්ධිය සදහා කටයුතු කරමින් සිටි ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු බොරු චෝදනාවක් එල්ල කිරීමෙන් මර්දනය කිරීමට ඉංග්‍රීසින් ගත් උත්සාහය අනුව ඔහු සිපිරිගෙට යවනු ලැබිණි. එහෙත් ඔහු එයින් පැන යන ලදී. බොරු චෝදනා එල්ල කරමින් තමා උසාවියට ඉදිරිපත් කිරීම ගැන කුපිතව සිටි ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු තරුණයා, මේ සිද්ධියෙන් පසුව ඉතා දැඩි ලෙස තම සටන් ව්‍යාපාරවල යෙදීමට ඉටා ගත්තේය. උසාවියේදී ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු විසින් මේජර් රොජර් නැමැත්තාට ශාප කරන ලද්දේ ඔහු බොරු චෝදනා එල්ල කරමින් බදුල්ල උසාවියට ඉදිරිපත් කිරිම ‍ හේතුවෙනි. ඒ අතර නුවරඑළියේදී හෙණයක් වැදීමෙන් මේජර් රොජර් මරණයට පත් වූ අතර එය සිදුවූයේ ඔහුගේ ශාපය නිසා යැයි ජනයා අතර පැතිර යන ලදි.  නිර්භීත උතුම් නායකයෙකු තුළ වූ ගතිගුණ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු තුළ නිසගයෙන්ම විද්‍යාමාන විය. උඩරට සිංහල නාමයන්ට සමාන පුරන් අප්පු නාමය ඔහුට පටබැදිණි.

1847 දී පුරන් අප්පු හාරිස්පත්තුවේ ගුන්නෑපාන ආරච්චිගේ දියණියක් වන බණ්ඩාර මැණිකේ සමග විවාහ වූ බව පැවසේ. 1848 වර්ෂය පුරන් අප්පුගේ දේශප්‍රේමි ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. ගම් නියම් ගම් සිසාරා පැතිර ගිය උද්යොගයෙන් යුතුව ජනයා බලා උන්හ. කුරුණෑගල බලා ගිය පුරන් අප්පු ඩිංගිරාළ නැමැත්තාගෙන් යුද්ධ සේනාවක් සකස් කරන ලෙස ඉල්ලා ස්ථිර කරගත් නියමිත දිනයේදී මාතලේට පැමිණෙන ලෙස දන්වා සිටියේය. දඹුල්ල බලා ගිය පුරන් අප්පු එහිදී සංඝයා වහන්සේලා හමුවේ තමා කරන්නට යන කටයුතු පිළිබදව වැඩිදුරටත් කැමැත්ත විමසුවේය. කැරැල්ල මෙහෙයවීමට ප්‍රධානියෙකු සිටිය යුතු බැවින් හා සිංහලයන්ට රජකු අවැසිව තිබුණෙන් කැරැල්ලට ඒකරාශි වූවෝ ජනයා ප්‍රමුඛ කොට රජකු පත්කර ගැනීමට අදහස් කළහ. නැසී ගිය රජුගේ ඥාතිවරයන් දෙදෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් කෙනෙකුට රජකම පවරා කැරැල්ල මෙහෙයවන්නැයි රදළවරුන් හා භික්ෂුන් විසින් ඉල්ලීම් කරන ලද නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලදී. අවසන පුරන් අප්පු තම නායකයා වශයෙන් තෝරා පත්කරගන්නට උඩරැටියෝ එකගත්වය පළ කරන ලදී. රජකම පුරන් අප්පු කරා පැමිණියේ එලෙසිනි.

කැරැල්ල මෙහෙයවන්නට අවැසි සැලසුම් සකස් කරන ලද්දේ පුරන් අප්පු විසිනි. ගොන්ගාලේ ගොඩබණ්ඩා ද ඔහු හා එක්ව සිටියේය. මාතලේ අල්ලා ගැනීමට අතුරු මාර්ග ඔස්සේ නායකයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් තුනක් සකස් කෙරුණි. ප්‍රධාන මග ඔස්සේ පුරන් අප්පු රණ බිමට පිවිසියේය. ඔටුනු පැළදවීමේ උත්සවය දඹුලු විහාරයේ දී පැවැත්වීමට තීරණය විය. භික්ෂුන් වහන්සේගේ පිරිත් දේශනා මධ්‍යයේ පළමුවැනි වලිසිංහ නමින් පුරන් අප්පු සිංහලයන්ගේ රජු වශයෙන් ඔටුනු පැළදි වග කුඩාපොළ ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කරන ලද බවද කියැවේ. එහෙත් තවත් ජනප්‍රවාදයක සටහන් වන්නේ වීර පුරන් අප්පු කඩු දරන්නා හෙවත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ද ගොන්ගාලේ ගොඩබණ්ඩා රජු වශයෙන් පත් වූ බවත්ය.

ජුලි 26 වැනි දින පුරන් අප්පු උඩරැටියන් ඇතුළු සාමාන්‍ය ජනතාව විසින් රාජකීය දෝලාවකින් දඹුල්ලෙන් පිටත්ව වාරියපොළ දක්වා ගමන් කරන ලද බව කියැවේ. ජුලි 27 වැනි දින වනවිට පුරන් අප්පු ඇතුළු සේනාවන් මැක්ඩෝවල් කොටුව බිද දමා මාතලේ නගරය අල්ලා ගත්හ. මාතලේ නගරය ශ්‍රී විභූතියෙන් ඇළලී ගියේය. ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් කදු පන්ති සිසාරා ජාතික ප්‍රබෝධයෙන් ඔද වැඩි සිංහලයෝ, පුරන් අප්පු රජු පිරිවරා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ඊට පසු දින එනම් 1848 ජුලි 28 වැනි දින සිංහලයෝ තම නියම රජු කවුරුදැයි ප්‍රකාශයට පත් කළහ. එහෙත් පුරන් අප්පුට මහනුවර අල්ලා ගැනීමේ මෙහෙයුම සාර්ථක ලෙස නිමා කරගන්නට නොහැකි වූයේ, බලාපොරොත්තු වූ අයුරින් අනෙකුත් කණ්ඩායම් තම සේනාවන් සමග නොපැමිණිම හේතුවෙනි. රජුට ආධාර දීමට සිටි මහනුවර රදළයෝ ද පැන ගොස් සැගවී ගත්හ. අගෝස්තු මස 2 වැනි දින ඉංග්‍රිසින් විසින් පුරන් අප්පු අල්ලා ගන්නා ලදී. වික්ටෝරියා රැජිනට විරුද්ධව කැරලි ගැසීම, මහනුවර රජ වශයෙන් ප්‍රකාශ කිරිම යන චෝදනා යටතේ ඔහු යුද්ධාධිකරණයකට ඉදිරිපත් කරන ලදී. ඒ සදහා පිළිතුරු ලෙස ඔව්, මහනුවරවාසින් පත් කළ රජා මමයි යනුවෙන් නිර්භීතව පිළිතුරු දුන් බව කියැවේ. ඒ වචන හේතුවෙන් කෝපාවිශ්ට වූ ඉංග්‍රීසි ජාතික අග්‍ර විනිශ්චයකාරවරයා ඔහු වරදකරු කොට මරණ දණ්ඩනය නියම කරන ලද අතර බෝගම්බර වැව අසළදී ඔහු වෙඩි තබා මරණයට පත් කරන ලදි. මාතලේ කැරැල්ලට නායකත්වය දුන් ඒ අභීත සිංහල විරුවා අගෝස්තු 8 වැනි දින වෙඩි පහර දොළහක් අවසන සිය අවසන් හුස්ම හෙළිය.

සිංහල දරුවන් උඩ විසි කරලා 
අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ 
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් 
මාර සෙනඟ මැද යම යුද්දේ 
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් 
අට ඉස් බෙක් විසිවී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා 
පුරන් අප්පු සටනට වැදුණා 

විරුවන්ගේ පාදස්පර්ශය ලත් මාතලේ පුරවරයේ ‍තිහාසික මාතලේ කැරැල්ලට උරදුන් ඒ අභිත විරුවාණන්ගේ වික්‍රමාන්විත ක්‍රියාකලාපය පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ ගේය පදවලින් ද අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගී තනුවෙන් හා සුනිල් එදිරිසිංහයන්ගේ ගායනයෙන්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පුරන් අප්පු චිත්‍රපටියෙන් සිංහල ප්‍රේක්ෂකයන්ට දායාද විය. 

මාතලේ නගරයේ, මාතලේ කැරැල්ල සිහිවීම පිණිස ඇති ස්මාරකය හැරුණු විට, විර පුරන් අප්පු සිහිකරමින් කොහොඹිලිවල ස්ථාපිත කර ඇති ‍ස්මාරකය මේ අතීත කතාන්දරයට නිහඩවම සාක්ෂි දරා සිටියි. මේ ස්මාරකය සහිත බිම අද පුරාවිද්‍යා බිමකි. මාතලේ කැරැල්ල ආරම්භය සනිටුහන් කළ ස්ථානය සිහිවනු වස් තනා ඇති මේ ස්මාරකය තිබූ තැන කාලයේ වැලි තලාවෙන් සගවා තබාගෙන සිටින්නේ අභීත විරුවන්ගේ කතාතන්දරයකි.  

2015 පෙබරවාරි

බුද්ධික එස්. රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...