Skip to main content

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල



සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල

පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - නුවරඑළිය
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -  අඹගමුව
ගමන් මග - 
හැටන් - මස්කෙළිය - මාවුස්සා‍කැලේ සිට නල්ලතන්නිය මාර්ගය
හැටන් - නෝටන් බ්‍රිජ් - මාවුස්සාකැලේ හරහා නල්ලතන්නිය මාර්ගය    

“ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩ වසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක් ගෙන එය ආරක්ෂා කරන මහාධීර විර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්මයාණන් වහන්‍ස.....”

සමන් දෙවියන් වෙනුවෙන් කෙරෙන ආයාචනයක් ඉදිරිපත් කරන්නට සුදෝ සුදු පැහැවතින් සැරසීගත් කපු මහතාගේ ගැඹුරු එහෙත් රිද්මයානුකූල හඩින් ඉදිරිපත් කෙරන සමන් දේව වර්ණනාව දේවාල ගෘහයේ නින්නාද දෙයි. හාත්පස පැතිර යන සමන් පිච්ච මල් සුවද හා සුවද දුම් සුවද නිතැතින්ම හද භක්තියෙන් පුරවාලන්නට සමත්වෙයි.

බුදුහිමිගේ සිරිපතුල පිහිට වූ සමන්ගිර සමනොළ කන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඩවිය වශයෙනි. සමනොළ අධිපවති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඩිගමනේදී සෝවාන් ඵලයට පත්වූ දෙවිකෙනෙකි. ලක්දිව දෙවිවරුන් අතර පාරිශුද්ධත්වයෙන් අග්‍ර ස්ථානය ලබාගන්නා සුමන සමන් දෙවියන්, ථෙරවාදී බෞද්ධ දෙවියෙකු ලෙස වන්දනාවට බදුන්වෙයි.

සමන් දෙවි ඇදහිල්ලේ මුලස්ථානය සබරගමු මහ සමන් දෙවොල වන නමුදු, රීදී පැහැ හිරු රැසින් දිලෙන ජල කද මතින්  හමා එන සීතල සුළං රැල්ල හා හාත්පස කදු මුදුනින් වට වූ මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ රමණීය භූමිභාගයක ඉදිකර ඇති සුමන සමන් දෙවිදු වෙනුවෙන් කැප වූ මේ දෙවො හැටන් - නල්ලතන්නි මාර්ගයෙහි සිරිපා කරුණා කරන්නට පැමිණෙන ජනයාගේ වන්දනාමාන වලට ලක්වන මාවුස්සාකැලේ සමන් දේවාලය සිරිපා අඩවියේ ජාති භේද ආගම් භේද වලින් තොරව වන්දනාමාන වලට ලක්වන පුදබිමකි.  

ලංකා විදුලිබල මණ්ඩලයේ භාරකාරීත්වයෙන් යුතුව පවත්වාගෙන යන මෙම පුද බිම ලක්වාසීන්ට දායාද කෙරෙනුයේ ලංකා විදුලිබල මණ්ඩලය විසිනි. 1960-1970 දශකය අතරතුර කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේ ඇති වූ දැඩි නියගය හේතුවෙන් විදුලි නිෂ්පාදනය අඩපණ වූ අවස්ථාවක සුමන සමන් දෙවියන්ට ලංකා විදුලිබල මණ්ඩලය විසින් බාරයක් වූ බවත්, නිසි කලට වැසි ලබා දෙමින් ජලාශ පුරවන්නැයි කළ ආයාචනයට ප්‍රති උපකාර දැක්වීම පිණිස මෙම සමන් දෙවොල ඉදිකළ බවත් කියැවේ.

සාම්ප්‍රදායික සදකඩ පහනින් හා මුරගල් සහිත පියගැට පෙළින් සමන්විත වන ප්‍රධාන පිවිසුම් දොරටුවවකින් යුතු මේ දේවාලයෙහි පිවිසුම් මග වැටී ඇත්තේ මස්කෙළිය- නල්ලතන්නි මාර්ගයේ මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු මතින් ඉදිව ඇති පාලම මතින් වීම විශේෂත්වයකි. වසර පුරාවට බැතිමතුන්ගේ වන්දනාමාන වලට ලක්වන මේ දෙවොල ප්‍රදේශවාසීන්‍ගේ වන්දනාමාන වලින් නිරතුරුවම ගරු සැලකිලි ලබයි. හැටන් නල්ලතන්නි මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරන්නට යන ජනයා මෙහි නැවතී පඩුරක් දමා ‍සමන්‍ දේව ආශිර්වාදය ලබාගන්නට අමතක නොකරති.


සමාධි මුද්‍රාවෙන් විරාසනය පිළිබිඹු කරන්නාවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විරාජමානව වැඩ වසන්නාවූ ප්‍රධාන බුද්ධ මන්දිරයෙහි මලසුන නොයෙකුත් පැහැ‍යන්ගෙන් හැඩ වූ පුෂ්පයන්ගෙන් සමන්විතය. ප්‍රධාන ගෘහය දෙපසන් පහන් හා සුවද දුම් දල්වන වැටි දැකිය හැකි වෙයි. පිච්ච මලින් පූජා උපහාර පැවැත්වෙන දිනයන්හිදී මෙම ගෘහය සමන් පිච්ච මල් සුවදින් පිරී යයි.

නොයෙක් පැහැගත් මලින් පිරුණු දේවාල භූමියේ දකුණු පසින් පිහිටි ගෘහය සුමන සමන් දෙවියන්ගේ වන්දනාමාන වලට කැප කොට ඇත.එහි ඔබ මොබ පියඹා යන සමනලුන් සිරිපා කරුණා කරන්නට ප්‍රථම මෙහි සමන් දෙවියන් නමදින්නට පැමිණියා වැනිය. සතර දෙසින් දේවාල ගෘහයේ පිවිසුම් නිමවා ඇත. කැටයමින් කළ ලී දොරින් යුක්ත මේ ගෘහය තුළට පිවිසෙන ඕනෑම අයෙකුගේ සිත භක්තියෙන් පිරී ඉතිරී යයි.

මේ දෙවොල අනුහසින් පිරි එකකි. දෙවොලේ අනුහසින් මාවුස්සාකැලේ ජලාශයට වැසි ලැබෙන්නේයැයිද සිරිපා අඩවියේ ආරක්ෂාව තහවුරු වන්නේයැයි ද විශ්වාසයකි. සමන් දෙවිදු වන්දනාවට පෙළ ගැසෙන ජනයා නා පිරිසිදු වී සුදුවතින් සැරසෙති. කහ වතුරින් දෝවනය කරන බුලත් අතක් පූජා වට්ටියට අසුරා එහි පිළිවෙළින් සෝදා කපාගත් පළතුරු අසුරති. පඩුරු සමගින් එය කපු මහතා වෙත පිළිගන්වා තම ආයාචනය සුමන සමන් දෙවියන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කපුමහතාගේ අතින් ආශිර්වාද ලබාගන්නා බැතිමතුන් පූජා වට්ටිය එහි සිටින දන්නා නොදන්නා සෑම දෙනා සමගම බෙදා ගන්නේ සතුටු සිතිනි. 

විදුලි බුබුළු වලින් අලංකෘත කරන ලද විශේෂ ගෘහයේ සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ දැක ගැනීමට එහි ඇතුළු විය හැකිවන්නේ කපු මහතාට පමණක් වන අතර, එය සාමාන්‍ය ජනයාට නිරාවරණය කෙරෙනුයේ ඉතාමත් කලාතුරකිනි.

තම භාරය ඔප්පු කරන්නට බැතිමතුන් විසින් පුජා කරන ලද පිත්තල කැටයමින් යුතු විවිධ ප්‍රමා‍ණ‍යේ සමන් දෙවි අනුරූ මෙන්ම පහන් මෙහි දැකිය හැකිය. ලක්ෂපාන ජල පෝෂකයේ ඉදිකෙරෙන අවසන් ජල විදුලිබලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබලාගාරයේ ඉදිකිරීම් වෙනුවෙන් පසුගිය වසරේ විදුලිබල මණ්ඩලය විසින් දේවාලයට පරිත්‍යාග කරන  ලද විශේෂ ඇත් දළ යුගලයක් ද ඒ අතර වෙයි.

සුමන සමන් දෙවියන් කාරුණික දෙවි කෙනෙකු වශයෙන් සැලකේ. ඇතැම් සුමන සමන් දෙවියන්ගේ දකුණු අතෙහි නෙළුම් මලකි. ගමන සුදු ඇතෙකු මතිනි. සාටකයකින් උඩුකය වසා ඇති සුමන සමන් දෙවියන්ගේ ඇදුම් පැළදුම් ශ්‍රී ලාංකිය දේව සම්ප්‍රදායට නෑකම් කියන බව විචාරක මතය වී තිබේ. කෙනෙකුගෙන් පළිගැනීමට හෝ විපතක් කිරිමට හෝ නොව, ලෙඩදුක් උවදුරු වලින් මිදී ආරක්ෂාව ලබාගැනීමටත්, තම අධ්‍යාපන හා රැකී රක්ෂා කටයුතු සාර්ථක කරගැනීමටත් බොහෝ දෙනා සුමන සමන් දේව පිහිට පතති.

සිරිපා සමය ආරම්භ වන උදුවප් පෝය දින සබරගමු මහ සමන් දේවාලයේ සිට වැඩම කරවන සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැරට සමගාමීව මෙහි සිටද විශේෂ පූජාවක් හා පෙරහැරක් සිරිපා මළුව තෙක් ගමන් කරයි. උදෑසන 6.00 සිදු කරන කිරි ආහාර සහිත සමන් දේව පූජාව හා බුද්ධ පූජාව මෙන්ම හවස් යා‍මයේ කෙරෙන පූජාවන් විශේෂ තැනක් ගනියි.

දේවාල භූමියට අයත් සමනල විශ්‍රාම ශාලාව දේවාල භූමියේ පසෙක දැකිය හැකි අතර, එහි වන්දනාකරුවන්ට සිරිපා සමයේදී වාහන නවතා තැබීමට හා නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. පළතුරු වට්ටි, පූජා භාණ්ඩ අලෙවි කිරීමට වෙළදසැල් හා සීතල ගත උණුසුම් කරන තේ කෝප්පයක් බීමට කුඩා ආපන ශාලාවන්ද මේ ආසන්නයේ විවෘත වන්නේ සිරිපා සමයේදී පමණක් වීමද මෙහි විශේෂත්වයකි.

දේවාල ගෘහයට පිටුපසින් බෝධින්වහන්සේ ඇත.  ඒ වටා දිවෙන පහන් වැටකි. බෝධින් වහන්සේට පූජා උපහාර පවත්වා , අපල හා ග්‍රහ‍ දෝෂ දුරුකරගන්නට වත් පිළිවෙත් කරන්නට ද බොහෝ දෙනා මෙතැනට පැමිණෙති.

එහි සිට බැලූ විට මාවුස්සාකැලේ ජලා‍ශයේ වාන් දොරටු වලින් නික්මෙන ජලය ගලා යන කැළණි ගගේ අතු ගංගාව මෙන්ම මාවුස්සාකැලේ - ලක්ෂාන මාර්ගය දැක ගත හැකිවෙයි. සිරිපා සමයේදී මෙන්ම සෑම වසරකම ජනවාරි පළමු දින හා අලුත් අවුරුදු දිනයන්හිදී මෙන්ම  පොහොය දිනයන්හිදී ද බැතිමතුන්ගේ නොමද වන්දනාමාන වලට පාත්‍ර වන්නා වූ මේ බිම සමන් දෙවි අඩවියට ලැබුණු අසිරිමත් පින් බිමකි.

ඡායාරූපය : අන්තර්ජාලයෙනි 

2014 මාර්තු


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව