Skip to main content

සිරිපා වඳිමු මේ සීතල හීමේ ......

 සිරිපා වඳිමු මේ සීතල හීමේ ......

පළාත් :- මධ්‍යම හා සබරගමු පළාත

දිස්ත්‍රික්ක :- නුවරඑළිය හා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයන්

ගමන් මග :- හැටන් - දික්ඔය- නෝර්වුඩ් - මස්කෙළිය - මාවුස්සාකැලේ - නල්ලතන්නිය (හැටන් සිට කිලෝ මීටර 32ක් දුර) නල්ලතන්නිය සිට සමනොළ කදු මුදුන දක්වා (කිලෝ මිටර 6 ක් පමණ දුර)

 

සිරිපා වන්දනා කරන්නට අපට ඇති මාර්ග කිහිපයකි. ඒ අතරින් හැටන් - නල්ලතන්නි මාර්ගය කෙටිම හා පහසුම මාර්ගය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. හැටන් සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන්ටම විශේෂිත වූ ප්‍රවාහන සේවයක් හැටන් දුම්රිය ස්ථානයේ සිට මෙන්ම බස්නැවතුම්පොළෙහි සිට ද නල්ලතන්නිය දක්වා ක්‍රියාත්මක වෙයි. හැටන් නගරය සිරිපා සමයේදී කාර්යබහුල නගරයකි. ලංකාවේ නන් දෙසින් ඇදී එන බොදු, කිතුනු, මුස්ලිම් මෙන්ම හින්දු භක්තියකයෝද සමනළ කන්ද තරණය කරන්නේ හද පිරි බැති සිතිනි.

බුදුරදුන්ගේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක් පුන් පොහෝ දින සුමන සමන් දෙවි ආරාධනයෙන් සමනල කන්දට වැඩ එහි ඉන්ද්‍රනීල මාණික්‍ය මතුයෙහි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ බව බොදුනු විශ්වාසයයි. එහෙයිනි මේ ගිරි හිස “ශ්‍රී පාද කන්ද” නැතහොත් “සිරිපාද කන්ද” යනුවෙන් හදුන්වනු ලබන්නේ. සමන්ත කූඨය, සමනල කන්ද, සිරිපා කන්ද යන විවධ නම් වලින් හදුන්වනු ලබන්නේ සමනළ කන්දයි.

කිතුනු විශ්වාසය අනුව ශාන්ත තෝමස්තුමාගේ පාද ලාංජනය එහි ඇති බව විශ්වාසයයි. ආදම්ගේ පාද පිහිටීම නිසා මුස්ලිම් බැතුමතුන්ගේ බස්වහරින් ඉංග්‍රීසියට පෙරැළීගෙන “ආදම්ස් පීක්” යන්න “ඇඩම්ස් පීක්” (Adams Peak) ලෙස නම් වූ බව පැවසේ. හින්දු භක්තිකයන් මෙහි ශිව දෙවියන්ගේ පා සළකුණ ඇති බව විශ්වාස කරන බැවින් “ශිවනොලි පාදම්” යනුවෙන් හදුන්වති. මෙරට වෙසෙන සියලුම ජාතීන්ගේ සමයාන්තර ගෞරවයට පාත්‍ර වූ මේ ගිරි ශිඛරය වන්දනාමාන කිරීමෙහිලා උදුවප් පොහොය දිනයෙන් ඇ‍රඹෙන වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පොහෝ දිනයේදීය.

හැටන් සිට දික්ඔය නගරය පසු කර ඉදිරියට යන විට දකුණු පසට දිවෙන නෝටන් බ්‍රිජ් - මාවුස්සාකැලේ මාර්ගය ඔස්සේ ද නල්ලතන්නිය නගරය වෙත ළගා විය හැකිය. එහෙත් පොදු මගී ප්‍රවාහන සේවාවක් භාවිත කරන්නේ නම් දික්ඔය සිට නෝර්වුඩ් දක්වා ගොස් එතැනින් මස්කෙළිය නගරය ඔස්සේ නල්ලතන්නිය වෙත ළගා වීමට පැයක පමණ කාලයක් ගතවෙයි. ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් හා කතෝලික ජනයා‍ සුහදත්වයෙන් යුතුව වෙසෙන මෙම පළාත සෞන්දර්යයෙන් අනූනය. බැලු බැලූ තෙක් මානයේ අප නෙත ගැටෙන්නේ, කදුකර කෙත් බිම් ලෙස ලොව ප්‍රසිද්ධියට පත් වන ලාංකීය තේ වතුය. දික්ඔය නගරය ළගා වන අප නෙත ගැටෙන්නේ “ඇඩිෂම්” යන නාමයෙන් ලෝක තේ වෙළදපොළෙහි කීර්තියට පත් වටවල තේ සමාගමට අයත් දික්ඔය තේ වතුයායට අයත් තේ කර්මාන්තශාලාවයි. ප්‍රධාන මාර්ගයට සමාන්තරව ගලා යන කෙහෙල්ගමු ඔයෙහි අතු ගංගාවක් ගලා බසිනු පෙනෙයි. එය කාසල්රී ජලාශයෙහි ප්‍රධාන ජල පෝෂක ධාරාවකි.  වැසි හිඟවීමෙන් ජල මට්ටම පහළ බැස තිබුණද කාසල්රී ජලාශයෙහි නීල වර්ණ ජල කඳ මතින් ඇතැම් තැනෙක ඉහළට එසවී ගත් දූපත් රැසකි.

ඉංග්‍රීසි යුගයේ දී කිතුනුවන් වෙනුවෙන් වෙන් කෙරුණු සොහොන් කොත් වලින් පිරි ගල් පල්ලිය අසළ සිට කාසල්රී ජලාශය හා ඒ අවට නැරඹිය හැකිය. හැටන් සිට නෝර්වුඩ් දක්වා දිවෙන මහා මාර්ගයට නෝර්වුඩ් සිට මස්කෙළිය දක්වා දිවෙන මහා මාර්ගයේ ගමන් කරන රථ වාහන පැහැදිලිවම දර්ශන‍ය‍ වෙයි. නෝර්වුඩ් සිට මස්කෙළිය දක්වා දිවෙන්නේ පටු මාර්ගයකි. එහි වම් පස කදු බෑවුම් මෙන්ම ප්‍රපාතාකාර දකුණු ප‍ස බෑවුම්ද ඇතත් මෙම මගෙහි ඇතැම් තැනෙකට දික්ඔය සිට නෝටන් බ්‍රිජ් දක්වා දිවෙන මාර්ගය ද දැක ගත හැකිවෙයි. මේ කදු මුදුන් අතරින්  පහළට ගලා එන නිමක් නොවන ජල ධාරාවෝ සුදෝ සුදු පෙණ පිඩු නගමින් ගලා බසිනු පෙනෙයි.

මේ මාර්ග අතර පවතින නිම්නය වසා පැතිර ඇති නීල ජල තලය කාසල්රී ජලාශයට අයත්ය. පෙනෙන නොපෙනෙන දුරක් දක්වා පැතිර ගත් කඳු මුදුන් අතර සිරිපා කදු මුදුන ද අපට දර්ශනය වන්‍නට පටන් ගනී. ඒ වටා අත්වැල් බැදගත් මීදුම් කුමරියන්  විටෙක තම සුදෝ සුදු සළු වලින් එහි සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වෙයි.

මුනි සිරිපා සිඹිමින්නේ - සමනොළ ගිරි මුදුනින්නේ

මඳ සුළඟයි මේ එන්නේ - මගේ පුතා නිදියන්නේ

සිහිල් සුළං සමග මුසුව ගත් හිරිපොද වැස්ස ආශිර්වාදයකි. ඒ ගිරි කුළ හිස සිප හමා එන සුළං පොද මේ පොළෝ තලයේ උපදින බිළිදුන්ටද ආශිර්වාදයකි. මව්වරුන් ඒ බව නැළැවිලි ගීයට මුසුකරන්නට ඇත්තේ ඒ නිසාවෙන් ම විය හැකිය. සමන් දෙවි අඩවියෙහි උපන් මට නිතැතින්ම ඒ ආශිර්වාදය හිමිවන්නේ උදේ සවස සමනල ගිරි ශිඛර හමා එන ඒ සුළං පොද අපගේ ජීවිත වලට ආශිර්වාදයක් වන නිසාවෙන් යැයි මට හැගිණි.

මස්කෙළිය නගරය පසුකොට ඉදිරියට යන අපට මීළගට හමු වන්නේ මාවුස්සා‍කැළේ ජලාශයයි. ජලාශයේ වැව් බැම්ම කෙළවර ඉදිවූ සුමන සමන් දෙවියන්ට කැප වූ දෙවොල පසුකරමින් ඉදිරියට ඇදෙන අප පිවිසෙන්නේ නල්ලතන්නිය නගරයටයි. ඉතා කුඩා නගරයක් වන මෙහි වන්දනා සමය ඇරඹෙන විට ඉදිවෙන වෙළද සැල් මෙහි දැකිය හැක්කේ වන්දනා සමයේදී පමණී.  නල්ලතන්නිය පාලම ඔස්සේ සිරිපතුල වන්දනා කරන්නට ගමන් අරඹන්නට පෙර අපි විඩා නිවා ගන්නට කුඩා බොජුන්හලක් වෙත පිය නැග්ගෙමු. ද්‍රවිඩ ජනයා අතර ප්‍රසිද්ධ රොටී හා ලුණු මිරිස් සමග උණු තේ පැන් කෝප්පය අපගේ කුස මෙන්ම විඩාවද දුරු කරන්නට සමත් විය. නල්ලතන්නිය පාලම ඔස්සේ සීත ගගුල පසුකළ අපි තේ වත්ත මැදින් වැටුණු මාර්ගය ඔස්සේ පිය නගන්නට විමු. ගතට දැනෙන සීතල නැතිකර ගන්නට අපි උණුසුම් කබා ගත දවටා ගන්නට යුහුසුළු වූයෙමු.

මකර තොරණ අප මේ පූජනීය භූමියට ඇතුළු වන බව කියාපාන මුල්ම සළකුණයි. එය සමනල අඩවියේ සීමාව ලෙස සැලකෙයි. කැනියන් ජලාශයේ සිට නව ලක්ෂපාන බලාගාරය තෙක් ජලය ගෙන යන උමං මග කැපීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී පාදස්ථානයට සිදු කළ භාරයක් ඔප්පු කිරීමට මෙම මකර තොරණ නිර්මාණය කර තිබේ. ඒ එක්දහස් නවසිය හතලිස් හතේ වර්ෂයේදී බව කියැවේ.

එයින් පසුව අප ළගා වූයේ ගඟුල තැන්න ප්‍රදේශයටයි. ජපන් ජාතිකයන් විසින්  ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් ඉදි කළ “සාම චෛත්‍ය” වන්දනා කරන්නට අප අමතක නොකළෙමු. මේ ආසන්නයේ උස අඩි හයක් හා විෂ්කම්භය අඩි පහක් පමණ වන තඹ වලින් නිර්මිත ඝණ්ඨාරය ඇමෙරකානු ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය විසින් 2012 වර්ෂයේ දී ශ්‍රී පාදස්ථානයට පූජා කළ එකකි.

එතැන් සිට සීත ගගුල දක්වා මාර්ගය කෙමෙන් කෙමෙන් පියගැට පෙළ සහිත නැග්මකින් යුතු‍වෙයි. සීත ගගුළ වෙත පැමිණෙන සියලු දෙනා එහිදී දෙහි කැබැල්ලක් හිස ගා නා සුදු පැහැ වස්ත්‍රයකින් සැරසී පේ වෙයි. සීත ගගුලෙහි ජලය සීතල බවින් යුක්ත බැවින් මේ නම යොදන්නට ඇතැයි මට සිතිණි. කදු පර්වත අතර පිහිටා ඇති මෙම දොළ පහර කෙහෙල්ගමු ඔය හරහා කැළණි ගංගාවට එක් වෙයි. එහි ජලය නැවුම් බවින් යුතු වන්නේ නොඉදුල් වන පෙතින් උපත ලබන බැවිනි. එහෙත් මෙහි වන්දනා සමයේදී ගං පතුල දෙහිකැබලි වලින් පිරී යයි. සීත ගගුලෙහි ඇති පාලමෙන් එතෙර වන අප ස්වාභාවික රක්ෂිත භූමිය මැදින් ඉහළට පිය ගැට නගින්නට වීමු.

ආගමික වටිනාකමින් ඉහළ ස්ථානයක් ගන්නා සිරිපා අඩවියෙහි පාරිසරික වටිනාකමද කියා නිම කළ නොහැකිය. පරිසර විද්‍යාඥයින් හා සත්ත්ව විද්‍යාඥයින් විසින් මෙතෙක් සොයා ගෙන ඇති කරුණු වලට අනුව සමනල අඩවිය ප්‍රාථමික වැසි වනාන්තර නැතහොත් නොඉදුල් වැසි වනාන්තරවලින් සැදුම්ලත් පෙදෙසකි. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂින් වර්ග 33 ක් මෙහි වාර්තා වී ඇත. 2009 අංක 22 දරණ වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙය දැනට ස්වාභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම සම්මුතියට අනුව යුනෙස්කෝ ආයතනය මගින් ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුම මධ්‍යස්ථානය ලෙස ද සමනල කන්ද ප්‍රකාශයට පත්කර තිබේ.

නුවරඑළිය, රත්නපුරය හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනටම අයත් වන සමනල අඩවිය ලංකාවේ වැඩිම වර්ෂාපතනයට හිමිකම් කියන ගිනිගත්හේන, යටියන්තොට හා බෑවිය තලාව හා වටවල යන ප්‍රදේශයන්ට මැදිව පිහිටීමෙන් එහි ජෛව විවිධත්වය සුරැකිව පවතින බව කිව හැකිය. මීටර 2234 ක් උසින් යුතු සමනල කන්ද මි.මී. 2500 – 5000 ත් අතර වාර්ෂික වර්ෂාපතනයකින් යුක්ත වේ. සිරිපතුල කෙරෙහි ඇති ආගමික භක්තිය හැරුණු කොට මෙම අසිරිමත් පරිසරය පාරිසරික සංචාරකයන්ගේ භක්තියට පාත්‍ර වූ බිමක් වන්නේ එහෙයිනි.

“ගෙත්තම් පාන” නැතහොත් “ඉදිකටු පාන” සිරිපා වන්දනාවේ කෝඩු කාරයින්ට විශේෂ වූ ස්ථානයකි. එක් තැනකින් ඇරඹී අතෙහි ඇති නූල් බෝලය අවසන් වන තුරු පිය ගැට පෙළට සමාන්තරව ගෙත්තම් කරන කෝඩු කාරයින්ගේ චාරිත්‍රය දෙස අප බලා සිටියෙමු. කෝඩු කාරයෙකු නොවූවද අපට ගෙත්තම් පානෙහි ඉදිකටු හා නූල් අමුණනන්ට තහංචියක්‍ නොමැත්තේය. එහෙත් ඒ සිරිපා චාරිත්‍ර වාරිත්‍රයට පටහැනිය.

ගෙත්තම් පාන පසුකර ඉදිරියට යන විට භගවා ලෙන හමු වෙයි. අඩි අටක් පමණ දිගින් හා උස අඩි විසිපහක් පමණ දිග මේ ගුහාවෙහි නිශ්ශංකමල්ල රජ දවස (1187-1196) කරවනු ලැබූ සෙල්ලිපියක් හා රූපයක් කොටවා ඇත. නිශ්ශංකමල්ල රජ දවස පවා සිරිපා වන්දනාව සිදු කෙරුණු බවට මේ ‍සෙල්ලිපිය සාක්ෂි දරයි.

දේවනම් ජන කොට්ඨාශය සමනල අඩවියේ දිවි ගෙවූ බව විශ්වාස කෙරෙන අතර සමන් දෙවියන්ගේ වාසභූමිය ලෙස සමන්ත ගිර සැලකෙයි.  වසර 36000ක් පමණ පැරැණි ප්‍රාග් ඓතිහාසික තොරතුරු වලට අනුව සමනල අඩවිය පුරා පැරණි මානව ජනාවාස විසිර තිබූ බව කියැවේ.

සමනල අඩවිය හා බැදුණු ජනප්‍රවාද රැසකි. සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් වනයෙහි අතරමං වූ අවස්ථාවන්හදී සමන් දෙවිදු විවිධ වේශයන්ගෙන් පෙනී සිට උපකාර කළ බව පැවසෙයි. දිවා ගුහාවද සමනල අඩවියේ පිහිටි බව විශ්වාස කෙරෙයි. එමෙන්ම සුදු නෙළුමක් හොඩයෙන් ගත්, සුදු ඇත් පැටවෙකු සමන්ගිරි හිස වන්දනා කරන බව ද කියැ‍වේ..

ඉහළට ඇදෙන අපට වන අරණේ දඹ, කීන, වෙරළු, මහරත්මල්, රන් දෝතළු වැනි ශාකද උඩවැඩියා විශේෂද ගල් හා දිය සීරාව සහිත බිම්හි නීලහරිත ඇල්ගී, හරිත ඇල්ගී හා මීවන ආදිය ද දැක ගත හැකිය. මදක් විඩා නිවා ගැනීමේ අටියෙන් හා අවට පරිසරය දැක බලාගැනීමේ අටියෙන් අපි ගමන මදක් නැවැත්වූයෙමු. හාත්පස බැලූ අපට බෑන සමනල කදු වැටිය හා එහි ඇතැම් තැනෙක රිදී වන් ජල දහරාද දිස් වෙයි. පහළ නිම්නයේ මාවුස්සාකැලේ ජලාශය, මස්කෙළිය නගරයද දර්ශනය වෙයි.

අත්වැල සහිත පිය  ගැට පෙළ ඇරඹෙන්නේ දළ බෑවුම් සහිත මහගිරි දඹය ප්‍රදේශයේදීය. සිරිපා කරුණා කරන්නට යන සහ පද්මය වැද ආපසු බසිමින් සිටින පිරිසක් හමු වූ විට සෙත් පතමින් ගායනා කරන කවි පද සවනට වැකෙයි. තමන් සපමින් සිටින යම්කිසි අහරක් වෙත් නම් එය බෙදා හදා ගැනීමද සිරිතකි. අග්ගලා සිරිපා වන්දනාවේදී එලෙස භාවිත කෙරෙන කැවිල්ලකි. කට වරද්දා ගැනීම හෙවත් අවකැපෙන වචන කීමෙන් හා පව් වැඩියෙන් කළවුන්ට මහගිරි දඹය තරණය කළ නොහැකි බවත් ඇතැමුන්ගේ විශ්වාසයයි. එහෙත් සිරිපා පද්මය කරුණා කරන්නට මළුව වෙත පිවිසෙන්නට මහගිරි දඹය තරණය කළ යුතුමය. තුන් සරණය සිරිපා වන්දනාකරුවන්ගේ ගීත සාහිත්‍ය කියා පායි. බැති සිතින් මෙහි එන්නවුන්ට සමන් දෙවි ආශිර්වාදය නිතැතින්ම හිමි වෙයි.

මහ ගිරි දඹය තරණය කර සිරිපා මළුවට පිවිසි අපට විඩාව අමතකව යන්නේ අති රමණිය සුන්දර වටපිටාව හේතුවෙන් බව නොඅනුමානය. පර්වතය මුදුනේ ඇති සිමෙන්ති වැටිය මත නිර්මිත පාද සළකුණ මත නළල බිම තබා වන්දනා කරන්නට අපි පෙළ ගැසුණෙමු. තමන් වන්දනා කළ වාර ගණනට අනුව සිරිපා මළුවේ ඇති ඝණ්ටාරය නාද කිරීමද සම්ප්‍රදායකි. දොළොස් මහේ පහනට සහ සමන් දෙවි දේවාලයට තෙල් මල් පූජා කළ අපිට අළුතින් ස්ථාපිත කළ ඝණ්‍ටාර කුළුණ ද දැක ගත හැකි විය.

අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන් හදවතින් බැදී ගත් සිරිපා වන්දනාවටම ආ‍‍‍‍‍වේණික බස්වහරක්, චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් මෙන්ම චර්යා ධර්ම පද්ධතියක් ඇතුළු ඊටම ආවේණික සංස්කෘතික ලක්ෂණ සමුදායක්ද නිර්මාණය කරන්නට සමත් වූ මේ පින් බිම හා ආගමික පමණක් නොව පාරිසරික වන්දනයටද සුදුසු කාලය පැමිණ ඇත. 

සුදෝ සුදු වළාකුළින් අහස් ගැබ වියනක් තනා ඇති අයුරු පෙනෙන්ට ඇත. සිහින් සරින් වැටෙන හිරි පොද මද වේලාවකින් පහව යයි. මේ නෙත් සිත් වශී කරන දසුන් ගතට දැනෙන විඩාව නිවන්නට සමත් වෙයි.ඉර සේවය දකින්නට නම් අද රැය මෙහි නවාතැන් ගත යුතුය. ඒ සදහා විශ්‍රාම ශාලාවක් ද මෙහි වෙයි. එහෙත් ආපසු යා යුතු බැවින් අප නැවත ගමනාරම්භ කළෙමු. තවත් අවාරයකට පසුව එළඹෙන වන්දනා වාරයකදී අපට සිරිපා කරුණා කළ හැකි වනු ඇත.

2014 මාර්තු

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී

Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේ...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...