Skip to main content

සීතලේ පියවර තබන්නී ඇය .........



සීතලේ පියවර තබන්නී ඇය .........



තම ගමනාන්තය වෙත පියවර මනින්නට නොඉවසිලිමත්ව තම කළමනා අතැතිව බලා සිටින අයවලුන් තවත් මොහොතකින් උඩරට මැණිකේ දුම්රියට ගොඩවන්නේ තමන්ට හිමි අසුනක් සොයා ගැනීමේ අභිලා‍ෂයෙනි. තවත් සමහරෙක් ස්ව-කැමැත්තෙන්ම තම අසුන කරගන්නේ පා පුවරුවයි. එතරමටම දුම්රිය ගමන විනෝදාත්මක, අධ්‍යාපනික එකක් මෙන්ම පර්යේෂණාත්මක එකක් වන නිසාවෙන් බව කිවයුතු මනාය. තම ගමනාන්තයට ළඟා වූ පසුව තුති පිදුමකින් තොරවම ඔවුහු ඇය අතැර යයි. එහෙත් ඇය ඒ කිසිවක් ගැන මායිම් නොකරන්නීය. සෑම දිනකම ඇය කොළොම්තොට සිට බදුල්ල බලා ඇදෙන උඩරට මැණිකේ හා එක්ව මමද පිය මනින්නට සූදානම් වූයෙමි. 

කොළොම්තොට සිට දුරු කතර ගෙවා අසිරිමත් කඳුරට නවාතැන්පොළවෙත යන්නට ඇය ලහිලහියේම සූදානම් වන්නීය. සුන්දරත්වයෙන් අනූන රූ සිත්තම් අතර ලැගුම් ගන්නට අවැසි අයෙකුට උඩරට දුම්රිය ගමන් මග නොමැකෙන මතක සටහන් ගොන්නක් එකතු කරන්නට සමත් වෙයි. පොඩිමැණිකේ, උඩරට මැ‍ණිකේ මෙන්ම අළුතින්ම උඩරට දුම්රිය ගමන් මගට එක්ව සිටින කොළඹ - නානුඔය දුම්රිය ද දිනපතා ගමන් පහසුකම් සපයයි. දුම්රිය වේදිකා එකොළසකින් සමන්විත කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දුම්රිය ගමන් මගෙහි ප්‍රධානම කේන්ද්‍රස්ථානය වන්නේය. කොටුව දුම්රිය වේදිකාවෙන් ගමන් අරඹන දුම්රිය ඩී.ආර්.විජේවර්ධන මාවතට සමාන්තරව ඉදිරියට ඇදෙද්දී වම් පසින් දිවෙන ශාඛා දුම්රිය මග බලවේග දුම්රිය ධාවනාගාරයට සම්බන්ධ වන අතර නැවත එය මරදාන දුම්රිය ස්ථානයේදී ප්‍රධාන ගමන් මගට එක්වෙනු දැකගත හැකිය. 1887 දී දුම්රිය නැවතුමක් (Train Halt) ලෙස පැවති මරදාන දුම්රිය ස්ථානය 1893 දී දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධන කර ඇත. මෙය පසුකළ විට වම් පසින් ඩීසල් දුම්රිය එන්ජින් ධාවනාගාරය දැකගත හැකිවෙයි. 

දෙමටගොඩ ගුවන් පාලම, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත ගුවන් පාලම, වම් පසින් දිවෙන වරාය මාර්ගය, ඔරුගොඩවත්ත තෙල්ගබඩාව පසුකරමින් කැළණිය දුම්රිය ස්ථානය පසුකළ විට කෙමෙන් ජනාකීර්ණ කොළොම්තොට පරිසරයෙන් අප ඈත්වන බවක් පෙනේනට විය. තැනිතලා බිමෙහි ඇති වෙල් යායක් මැදින් ඉදිරියට ඇදෙමින් කොළඹ කොටුව සිට කිලෝ මීටර හතරක් පමණ දුර ගෙවා රාගම දුම්රිය ස්ථානයට ළගා වන අපට රාගම දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙන වැදගත්කම් කිහිපයක් වෙයි. කොළඹ සිට ඇති ත්‍රිත්ව දුම්රිය මාර්ගය අවසන් වන අතර, රඹුක්කන දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඇරඹෙන අතර ලංකාවේ ඉදිවූ ප්‍රථම ගුවන් පාලම රාගම දුම්රිය ස්ථානය අසළින් ඇති දුම්රිය හරස් මග සදහා ඉදිවීමද විශේෂත්වයකි. රාගම දුම්රිය මංසන්ධියකි. පුත්තලම දක්වා දිවෙන මග රාගම දුම්රිය ස්ථානයට මදක් එපිටින් වයඹ දෙසට විහිද තිබෙනු දැකිය හැකිය. කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙද්දී ඉතා සරුසාර කෙත් බිම්, ගෙවතු වලින් සමන්විත භූමි දර්ශනයක් නෙත ගැටෙයි. කවුළු හරහා ඇදී එන සුවදායී සුළං රැල්ල ගත සිත සනහාලන්නට සමත්කම් පායි. 

රාගම සිට ගම්පහට ළගා වීමට පෙර වනවාසල, හුනුපිටිය, එඩේරමුල්ල, හොරපේ, රාගම, ‍වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, ගනේමුල්ල, යාගොඩ යන දුම්රියපොළ පසුකළ යුතුවෙයි. ගම්පහ මෙම මගෙහි අපට හමුවන පසළොස්වැනි දුම්රිය ස්ථානයයි. මෙම දුම්රියපොළ 1864 දුම්රිය ගමනාගමනයේ ඇරඹුම සනිටුහන් වූ කාලයේ සිටම පැවතෙන්නකි. මුල් කාලයේදී හෙනරත්ගොඩ දුම්රියස්ථානය නමින් හැදින්වූ මෙයට නුදුරින් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයද දැකගත හැකිය. 

දරළුව, බෙම්මුල්ල, මීගලෑගොඩ, හීන්දෙනිය, වේයන්ගොඩ, වඳුරුව, කීනවල යන දුම්රිය ස්ථාන පසුකරමින් රිද්මයානුකූලව ඉදිරියට ඇදෙන උඩරට මැණිකේ දුම්රිය මීළග‍ට සේන්දු වන්නේ පල්ලේවෙල දුම්රිය ස්ථානයටය. එයින් පසුව ගනේගොඩ, විජය රජදහන, මීරිගම, විල්වත්ත, බෝතලේ යන දුම්රිය ස්ථාන පසු කරන අපට උඩරට දුම්රිය මගෙහි ඇති අංක 01 බිම්ගෙය විල්වත්ත හා බෝතලේ දුම්රිය ස්ථාන අතර දී හමුවෙයි. මෙය කදුකරයෙන් මෙපිට පිහිටි එකම බිම්ගෙය ලෙස දැක්විය හැකිය. උඩරට කදුකර දුම්රිය මග තැනීමේදී ඉංග්‍රීසින් ඒ අභියෝගය ජය ගන්නේ බිම්ගෙවල් 44 කට ආසන්න ප්‍රමාණයක් කැණීමෙන් වාර්තා පෙන්වා දෙයි. 

ලංකාවේ පළමු දුම්රිය ගමනාන්තය ලෙස සැලකෙන අඹේපුස්ස දුම්රිය ස්ථානයට අප සේන්දු වන විට දහවල් පමණ විය. අඹේපුස්ස දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට සැතපුම් 34 ක දුරින් හා මුහුදු මට්ටමේ සිට අඩි 182 ක උසක පිහිටා ඇත. එහි පැරණි දුම්රිය පොළ අදටත් අපට දැකගත හැකිවෙයි. මහ ඔය පසුකරන්නට බ්‍රිතාන්‍ය යුගයේදී තැනූ විශාල යකඩ පාලම පසුකළ අපට යටල්ගොඩ හා බුජ්ජොමුව දුම්රිය ස්ථාන පසුකරමින් අලව්ව දුම්රිය ස්ථානයට ළගා විය හැකිය. අලව්ව සිට පොල්ගහවෙල දක්වා දුම්රිය මග අඹේපුස්ස සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය මගට සමාන්තරව දිවෙයි. වලකුඹුර උප දුම්රිය ස්ථානයකි. මෑත ඉතිහාසයේදි දරුණුතම දුම්රිය - බස්රිය අනතුර සිදූවූ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය මේ අතරමගදි හමුවෙයි. 

එයින් පසුව අප ළගා වන්නේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයටය. වේදිකා පහකින් සමන්විත වන මෙය දුම්රිය ගමන්මගෙහි අපට හමුවන තිස්හතරවැනි දුම්රිය ස්ථානයයි. උතුරු - නැගෙනහිර දක්වා දිවෙන දුම්රිය මාර්ගය ආරම්භ වන්නේ මෙතැන් සිටය. කොළඹ, මහව හා නුවර යන තෙදිසාවටම මෙහි සිට ප්‍රාදේශීය දුම්රිය ධාවනය සිදුවෙයි. අනුරාධපුරය බලා යන අයවලුන් මෙහිදී දුම්රියට සමුදිය යුතුය. පනාලිය, තිස්මල්පොල හා යටගමුව දුම්රිය ස්ථාන පසුකරමින් අප සැතපුම් 52ක පමණ දුර ගෙවා අප මීළඟට රඹුක්කන දුම්රිය ස්ථානයට ළගාවූයෙමු. රඹුක්කන, කොළඹ සිට දිවෙන කෙටි දුර දුම්රිය වල ගමනාන්තයකි. 


කඳුකර දුම්රිය ගමන් මග ඇරඹෙන්නේ මෙතැන් සිටය. තැනි බිමක් ඔස්සේ කෙත්වතු පසු කරමින් ඉදිරියට ඇදී ආ මට මෙතැන් සිට තරමක් දුෂ්කර වූ ගමන් මගක ගමන් කරන්නට සිදු වූ බව පෙනෙන්නට විය. උඩරට මැණිකේ ද ඒ බව දන්නීය. දුෂ්කර මේ ගමන් මග නැගීමට දුම්රිය එන්ජිමේ මුළු ශක්තියම යොදා ඉතා හෙමින් හෙමින් ඇය ඉදිරියට ඇදෙන්නීය.එහෙත් ඇය ඉතා ධෛර්ය සම්පන්නව ඒ ගමන යන්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ඇත. රඹුක්කන සිට කදුකරයට ඇතුළු වන අපට දක්නට ලැබෙන්නේ තනි දුම්රිය මගකි. මෙතැන් සිට දුම්රිය වර්ණ සංඥා ක්‍රමය වෙනුවට තනි මාර්ග සදහා විශේෂිත වූ ටැබ්ලට් සංඥා ක්‍රමය භාවිත කිරීම ආරම්භ වෙයි.රඹුක්කන නගරය පසුකොට ඉදිරියට ඇදෙන විට දකුණු පසින් ඇති වෙල් යාය හා ඉන් අනතුරුව නෙතට හසුවන්නේ නිසසල කදුකර හා කැළෑබද පෙදෙසකටය. මෙතෙක් වේලා මගේ ගතට දැනෙමින් තිබූ මද උණුසුම් බව කෙමෙන් කෙමෙන් අඩුවී යන බවක් මට දැනෙන්ට විය. රඹුක්කනදී විදෙස් සංචාරක පිරිස් උඩරට මැණිකෙට සමුදෙන්නේ, පින්නවල අලි අනාථාගාරය වෙත පියමනින්නටය.

ඇය විටෙක රිද්මයකට අනුව යමින් සෙමින් සෙමින් ඉදිරියටම පියවර නගන්නීය. තවත් විටෙක කඩිසරව ගමන් කරන්නීය. වෙහෙස දැනුණ තැන්හිදී ඇය මඳක් නැවතී ගිමන් හරන්නීය. එහෙත් තම ගමනාන්තයට ළඟාවන තුරු ඇය ඉවසිලිවන්තව ගමන් කරනු ඇතැයි මට හැගෙයි.

කඩිගමුව දුම්රිය පොළට ළගාවීමට ප්‍රථම අපට තවත් බිම්ගෙවල් දෙකක් හමුවිය. තවත් කිලෝ මීටර හතරක් පමණ ගිය පසු ගංගොඩ දුම්රිය පොළ හමුවන අතර ඒ අතරද එක් බිම්ගෙයක් පසුකරන්නට අපට සිදුවෙයි. ගංගොඩ පසුවූ පසුව පරිසරයේ අත්විදින්නට වන සුන්දරත්වය චමත්කාරජනකය. මෙතැන් සිට දුම්රිය මග අලගල්ල කන්ද මැදින් දිවෙන කැපුමක් මත ඉදිව තිබේ. වම් පසින් අලගල්ල පර්වතය දිස්වෙයි. දකුණු පසින් දුම්රිය මග අසළින්ම ගැඹුරු ප්‍රාපාතාකාර දළ බෑවුමකි. හාත්පස පරිසරයේ තුරු හිස් මුදුන් අතර ගැවසී ගත්තාවූ ළදළු මෙන්ම කුරුලු නාදයද සමගින් උඩරට මැණිකේ නොනැවතී ඉදිරියට ඇදෙයි. ගංගොඩට පසුව හමුවන බිම්ගෙවල් දෙකක් අතරින් දෙවැනියට හමුවන මිනගල්ල බිම්ගෙය ලංකාවේ දිගින් දෙවැනි තැනට හිමිකම් කියයි. මීනගල්ල දුර්ගය හරහා ඉදිකෙරෙන මේ දුම්රිය උමග අර්ධ කවාකාර හැඩයකින් යුතු වන අතර දිග අඩි 300 ක් හා පළළ අඩි 18ක් පමණ වන බව කියැවේ. මෙහි ඇති අර්ධ කවාකාර හැඩය හේතුවෙන් බිම්ගෙයට ඇතුළු වන අපට එය පසුකරන්නට විනාඩියක් පමණ ගතවෙයි.

මුහුදු මට්ටමේ සිට මීටර 210 ක් උසින් පිහිටා ඇති අතීතයේදී අලගල්ල දුම්රිය ස්ථානය ලෙස හැදින්වූ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අලගල්ල කදු මධ්‍යයේ පිහිටා ඇති අතර දුම්රියෙන් හැර වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් එහි නොමැත්තේය. එක් පසකින් ඇති පර්වතයත් අනෙක් පසින් ඇති ප්‍රාපතයත් දෙස නෙත් යොමුවීම සිත මදක් සලිත කරවන්නට සමත් වෙයි. එහෙත් ඈත අහස් කුස සිඹින්නට වෙර දරන බතලේගල කන්දත්, උතුවන් කන්දත් , දෙවනගල කන්දත් බලන දුර්ගය ඔස්සේ හා මීනගල්ල දුර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන විට මනාව දිස් වෙයි. 


මීනගල්ල දුර්ගය උඩරට දුම්රිය ගමන් මග ඉදිකිරීමේදී යුරෝපීයන්ට බෙහෙවින්ම දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවූ ප්‍රදේශයක් බව කියැවේ. බලන දුම්රිය ස්ථානයට පසුව බිම්ගෙවල් තුනක් හමුවන අතර බලන හා කඩුගන්නාව දුර්ගයේ ගමන් මගෙහි හමු වන සිංහ මුඛය (Lion Mouth) සුවිශේෂි ස්ථානයකි. පර්වතයක මුහුණත කපා බිම්ගෙයක ආකාරයෙන් සකසා තිබෙන නමුදු ප්‍රපාතය දෙසින් එය විවෘතව පවතී. එම නිසා ඈතට සිංහයෙකු තම මුව විවර කරගෙන සිටින ආකාරයෙන් එය දිස්වේ. 

කඩුගන්නාව දුර්ගයේදී හමුවන 9A නම් බිම්ගෙය වෙරළුගොල්ල කන්දේ පිහිටි පර්වතයක් සිදුරු කිරීමෙන් යුරෝපීයන් විසින් තනා ඇති බව කියැවේ. අතීතයේදී කන්දේ පිහිටි පර්වතයට පිටතින් පැරණි දුම්රිය ගමන් මග වැටී තිබු‍ණු නමුදු පර්වතයේ ප්‍රපාතාකාර ගැට්ට මතින් තැනුණු දුම්රිය මාර්ගයෙහි සිදුවූ දුම්රිය අනතුරක් හේතුවෙන් ඉංග්‍රීසින් විසින් එම මාර්ගය වෙනුවට පර්වතය විද බිම්ගෙය තනා තිබේ. බිම්ගෙය තැනීමට පසුව අත්හැර දැමුණු පැරණි දුම්රිය මග හා බෝක්කු කටවල් තුනකින් යුතු ආරුක්කු පාලමෙහි නෂ්ටාවශේෂ අදද ඉතිරිව තිබේ.


සිංහ කට බිම්ගෙය පසුකොට හමුවන තවත් කෙටි බිම්ගෙයකි. මෙහි ස්වරූපය දැවැන්ත හස්තිරාජයෙකු පිටුපස හරවාගත් ස්වරූපයක් ගන්නා අතර ඉංග්‍රීසින් විසින් එය එලිෆන්ට් බැක් (Elephant Back) නමින් හදුන්වා ඇති අතර ජන වහරේදී “අලි පස්ස” නමින් ව්‍යාවහාරයට එක්වී ඇත. ඇතැමුන් මෙය බංගලි බිම්ගෙය නමින් හදුන්වන්නේ, බංග්ලාදේශ වහල් ජාතිකයින් යොදවා මේ බිම්ගෙය තැනූ නිසාවෙන් බවද කියැවේ.

කඩුගන්නාව දුම්රිය ස්ථානය කොළඹ සිට සැතපුම් 65ක් පමණ දුරින් හා මුහුදු මට්ටමේ සිට අඩි 1690 ක උසින් පිහිටා ඇත. කඩුගන්නාව දුම්රිය ස්ථානය පසුකර සෙංකඩගල පුරය දක්වා ඇදෙන දුම්රිය කවුළුවෙන් එහා නෙත් යොමු කළ විට හරිත වර්ණයෙන් හාත්පස වසාගත් මිටියාවතෙහි තුරු වදුලු අතර තැනින් තැන උළු සෙවිලි කළ පියසි වලින් යුතු ජනාවාසයන් දැකගත හැකිය. පිළිමතලාවට පසුව දුම්රිය මග මහනුවර පාර හරහා ගමන් කරමින් පේරාදෙණිය දුම්රිය මංසන්ධියට ළගා වෙයි. එය උඩරට මැ‍ණිකේ ගමනේ තවත් එක් සන්ධිස්ථානයකි. කොළඹ- මහනුවර දුම්රිය මාර්ගයට දකුණු පසින් පහළ දෙසට බදුලු මාර්ගය විහිදී ඇති අතර කොළඹ සිට බදුල්ලට ගමන් කරන දුම්රිය හැරවීමකින් තොරවම ගමන් කිරීමට අතුරු මාර්ගයක් දුම්රිය ස්ථානයට මෙපිටින් දැකිය හැකිය. 1867 ඉදි වී ඇති මෙම දුම්රිය ස්ථානයේ පළමු ගොඩනැගිල්ල තවමත් සුරැකිව පවතී. 

පේරාදෙණිය පසු කරමින් මහනුවරට යන අපට මහවැලි ගං කොමළිය තරණය කිරීමට සිදුවෙයි. සරසවි උයන පසුකර ඉදිරියට ඇදෙන විට ගීත සාහිත්‍ය ඔප් නැංවූ පෙම්වතුන්ගේ රජදහනක් වන හන්තාන කදුවැටියත්, පේරාදෙණිය සරසවියත් සිත්තරකුගේ තෙළිතුඩට කදිම දසුනක් මවාපාන්නට සමත්ය. ‍‍‍‍‍‍ඓතිහාසික සෙංකඩගල පුරයේ ශ්‍රී දළදා වහන්සේ, ගැටඹේ පුරාණ රජමහා විහාරය, පේරාදෙණිය උද්භිද උද්‍යානය නරඹන අටියෙන් තවත් විදෙස් සංචාරක පිරිසක් දුම්රියෙන් බැසගනු මා නෙත ගැටුණි. තවමත් තම ගමනාන්තයට ළගා නොවු අයවලුන් අතරෙහි මම ද එක් අයෙකු වීමි. 

පේරාදෙණිය පසුකර ගෙලිඔය, ගම්පොළ දක්වා දුම්රිය ගමන් මග මහනුවර- නුවරඑළිය මහාමාර්ගයට වම් පසින් ඊට සමාන්තරව ගම්පොළ දක්වා දිවෙයි. ගෙලිඔය කුඩා දුම්රිය පොළකි. ගම්පොළ නගරයට දුම්රිය ඇතුළ වන්නේ මහා මාර්ගය හරහා යෑමෙනි. මුහුදු මට්ටමින් අඩි 1572 ක් උසින් හා කොළඹ සිට සැතපුම් 78ක් දුරින් පිහිටි ගම්පොළ දුම්රිය ස්ථානය අතීතයේදී මහවැලි ගංවතුරින් පීඩා විදි බව පැවසෙයි. එක් එක් අවස්ථාවලදී පැමිණි ගංවතුර මට්මට් දුම්රිය පළේ ඉහළ කෙලවරේ පිහිටි සංඥා කුටියේ ළකුණු කර තිබේ. ගම්පොල පසු කරන මට දකුණු පසින් ඇස ගැටුනේ දර්ශනීය අම්බුළුවාව කදුවැටිය හා චෛත්‍යයයි. ගම්පොළ පසුකළ විට දුම්රිය මහා මාර්ගයෙන් වෙන්වී නිරිත දෙසට ගමන් කරන්නට පටන් ගනියි. 

ගම්මාන හා කෙත් වතු පසුකරමින් තැඹිලිගල හා උල‍පනේ දුම්රිය ස්ථාන පසුකරමින් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයට ළගා විය. සැතපුම් 82ක් ගෙවා මුහුදු මට්ටමින් අඩි 1913ක් උසින් පිහිටි නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය පාලන ප්‍රධාන මැදිරි තුනෙන් එකක් පිහිටා ඇත. අතීතයේදී වාෂ්ප එන්ජින් නැවැත්වීමට විශාල එන්ජින් ධාවනාගාරයක් මෙහි පිහිටුවා තිබූ බව කියැවේ. 

නාවලපිටිය පසුකරමින් සීතල මැද කදුකරය බලා ඇදෙන උඩරට මැණිකේ හා එක්ව සිටින සියළු දෙනාට වා කවුළු අතරින් ගලා එන සීතල සුළං රැල්ල ගත සිත ජීවයෙන් පුරවන්නට සමත්කම් පායි. රමණිය කැළැබද පෙදෙසක් හරහා ගමන් කළ අපට මීළගට සැතපුම් තුනක් පමණ ගෙවූ තැන්හි හමුවන්නේ ඉගුරු ඔය දුම්රිය ස්ථානයයි. එය දර්ශනීය ඉගුරු ඔය අසළින් පිහිටා ඇති බැවින් මේ නම ලැබී ඇත. 

කදුකරයේ දුෂ්කර ගමන් මගක හුදෙකලා වූ ගල්බොඩ ගම්මානයෙහි නොඉදුල් වන පෙතින් උපත ලබන ගල්බොඩ දියඇල්ල උඩරට දුම්රිය ගමන් මාර්ගයේ සොදුරු ස්ථානයකි. ගමන් මගෙහි වම් පසින් නිරන්තරව විහිදී ගත් කදුවැටි හරහා ගලා එන සුදෝ සුදු දිය දහරා පසු කරන්නට එකක් පසු කළ විට එකක් ලෙසින් තැනුණු යකඩ පාලම් රැසකි. එක ළගින් පිහිටි නිවුන් බිම්ගෙවල් දෙකක් අතර පිහිටි පාලමක් මතින් ගමන් කරන අපට වම් පසින් ගලා හැලෙන සුන්දර ගල්බොඩ දිය ඇල්ල දිස්‍ වෙයි. ඇතැම් තැනකදී වියන් බදින සුදු මීදුම් සේලයෙන් හා වනපෙතින් ද ඇතැම් තැනෙක දිස්වන තේවතු මැදින් මිළගට වටවල දුම්රිය ස්ථානයට සේන්දු වූයෙමු. 

ගමන් මගෙහි 54 වැනි දුම්රිය ස්ථානය වන වටවල මුහුදු මට්ටමේ සිට අඩි 3259කින් පිහිටා ඇත. වටවල දුම්රිය ස්ථානය අවස්ථා කිහිපයකදී ම නායයෑමට ලක්වූ අතර කදු ගැටයක කැපුමක් මතින් දිවෙන මේ මගෙහි දකුණු පස ප්‍රපාතාකාර බෑවුමකි. එතැන් සිට ගමන් මග තියුණු වංගු කිහිපයකින් යුතු වෙයි. සීතල කදුකර තෙත්බිම් පරිසරයටම ආවේණික වූ තද කොළ පැහැති කුඩා පඳුරු, දියසීරා මතින් ඇදෙන මීවන හා කඳුරට හැඩ කරන ඕකිඩ් මල් මෙහි සුලබය. වම් පසින් පහළ නිම්නයේ මහවැලි ගං කොමළිය ගලා බසින්නීය. ඇතැම් විටෙක කොළඹ - නුවරඑළිය මාර්ගය දැකගත හැකිය. 

මුහුදු මට්ටමේ සිට මීටර 1130 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ඉංග්‍රීස් එස් හැඩයේ වංගුවක කෙළවර පිහිටා ඇති අතර නිරන්තරව දැඩි මීදුමින් හැඩ වී ඇත. තවත් නොබෝ වේලාවකින් මා මුහුදු මට්ටමේ සිට මීටර් 1262 ක් උසින් පිහිටි හා කොළඹ සිට කිලෝ මිටර 173 ක් පමණ දුරින් පිහිටි හැටන් දුම්රිය ස්ථානයට ළගා වනු ඇත. දකුණු පසින් කොළඹ- නුවර මාර්ගයට සමාන්තරව දිවෙන දුම්රිය මග නගරයට ඇතුළු වී ඇත. ශ්‍රී පාද වන්දනා සමයෙහිදී හැටන් දුම්රිය ස්ථානය නන් දෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ හා වන්දනාකරුවන්ගේ ගමනාන්තයකි. ලංකාවේ දිගින් වැඩිම දුම්රිය බිම්ගෙය වන අඩි 1842 ක් දිග සිංගිමලේ බිම් ගෙය හැටන් දුම්රිය ස්ථානය නුදුරින් පිහිටා ඇත.

මා හා මෙතෙක් දුර පැමිණි ඇයට සමු දෙන්නට මගේ හිතට ලෝබකමක් ඇතුළු විය. එහෙත් මගේ ගමනාන්තයට ළගා වූ පසු මා ඇය අතැර යා යුතුය. ඇය මා හා අමනාප නොවනු ඇත. විඩාබර නොවන සොදුරු මතක එක්තැන් කළ උඩරට මැණිකෙට මම සමු දුන්නෙමි. තවත් සිය දහස් ගණන් මගී ජනයාට ඇය ලංකාවේ උඩරට මැද කදුකර ගමන් මගෙහි නොමැකෙන මතක සටහන් එක්කරමින් යළිත් පුරුදු පරිදිම ඇය තම දුෂ්කර නමුදු සුන්දර මේ කදුකර ගමන් මග ඔස්සේ ගමන් කරනු ඇත. ඒ මගෙ හි දී ඇය මට තවත් දිනෙක හමු වනු නොඅනුමානය.

2014 මාර්තු

බුද්ධික එස් රත්නායක
ටෙක්ලා චාන්දනී



Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව